යක්කලමුල්ල කොට්ටවගම දේවගිරි තේ වත්තේ කාර්යාලයට ඇතුළුවී රුපියල් තුන් ලක්ෂ අසූ අට දහසක මුදලක් සොරකම් කිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලීසිය පවසයි.
එම කම්හලේමසේවකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිල සුනඛයෙකුගේ මාර්ගයෙන් කළ පරීක්ෂණයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තේ වත්තට අයත් කාර්යාලයේ තිබූ රුපියල් තුන් ලක්ෂ අසූ අට දහසක මුදලක් සොරකම්කර ඇති බවට පොලීසියටපැමිණිලිකර තිබේ.
ඒ අනුව ගාල්ල පොලිස් නිල සුනඛ ඒකකයේ ආටිස් නැමැති නිල සුනඛයා ගෙනවිත් පරීක්ෂණ පැවැත්වීමේදී සැකකරු විසින් දමා ගොස් තිබූ ලියුම් කවරයක් ඔස්සේ ගිය නිල සුනඛයා නිවසක් ඉදිරිපිට නතරවී තිබේ. පසුව එම නිවසේ පදිංචි පුද්ගලයා මෙම කම්හලේ සේවකයෙකු බව දැනගත් පොලීසිය ඔහු සෙවීමේදී නිවසින් පලා ගොස් ඇති බව හෙළිවී ඇත.
එම අවස්ථාවේ වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය විසින් ප්රදේශයේ සැඟවී සිටි සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙහිදී මෙම සොරකමට තවත් පුද්ගලයෙකු සම්බන්ධ බව හා සොරකම්කරන ලද මුදල් ඔහු සන්තකයේ ඇති බවට එහිදී හෙළිවී තිබේ. එමසැකකරු අත්අඩංගුවට ගැනීමට යක්කලමුල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.