මීරියබැද්ද නායයෑම නිසා නිවාස අහිමි වූ ජනතාවට නිවාස ලබාදීමේ ප්‍රමාදයක් ඇති වී තිබෙන බවත්, එහෙත් තම අමාත්‍යාංශය යටතේ නායයාමෙන් නිවාස අහිමි වූ සියලු දෙනාට ලබන වසරේ ජනවාරි මාසය වනවිට නිවාස ලබාදීමට කටයුතු කරන බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.
නිවාස අහිමි වූ ජනතාවට නිවාස ලබාදීමට මුල් අවස්ථාවේ තෝරාගත් ස්ථානය වෙනස් වූ බවත්, පසුව තෝරාගත් ස්ථානයේ ඉදිකිරීමට හැකියාව තිබෙන්නේ නිවාස 51 ක ප්‍රමාණයක් පමණක් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ඊයේ (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් නිවාස 75 ක් ඉදිකිරීමට මුදල් වෙන්කර තිබෙන බවයි. මේ අනුව නිවාස 51 ක් ඉදිකිරීමෙන් පසු අවශ්‍ය ඉතිරි නිවාස ඉදිකිරීමට ඉඩමක් සොයාගැනීමේ ගැටලුවක් ඇති වූ බවද ඔහු කීය.
එම ගැටලුව විසඳා ගැනීමට තේ කර්මාන්ත ශාලා හිමියන් සමග සාකච්ඡා කිරීමෙන් පසු ඊයේ ඒ සඳහා ඉඩමක් ලැබුණු බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මේ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදු වූ මෙම නායයෑම නිසා නිවාස අහිමි වූ සියලුම දෙනාට ජනවාරි මාසය වනවිට නිවාස ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.