මීතොටමුල්ල කසල අංගණය කඩාවැටීම නිසා හටගෙන ඇති තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුව හදිසියේ රැස්කරවා විවාදයක් පැවැත්වීම සඳහා කථානායකවරයා කැමැත්තෙන් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද(19දා) පැවසීය.
මීතොටමුල්ල සිද්ධියට අදාළව විවාදයක් ඉල්ලා කරුණු හයක් ඇතුළත් කර තමන් ඊයේ (18දා) දිනයේදී කථානායකරයාට ලිපියක් බාරදුන් බවත්,ඉන්පසුව කරු ජයසූරිය මහතා දුරකථනයෙන් තමා සමග සාකච්ඡා කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අහිමි වූ ජීවිතයක් සඳහා රුපියල් ලක්ෂයක් ලබාදීමට රජය උත්සාහ දැරීම ගැන ලැජ්ජාවන බවත්,රජය විසින් එම යෝජනාව ඉල්ලා අස්කරගතයුතු බවත්ය.
එම ජනතාවගේ ජීවිත සහ දේපොළ සඳහා සුදුසු වන්දියක් ලබාදිය යුතු බවත්, රුපියල් ලක්ෂයේ මුදල තාවකාලිකව ලබාදෙන්නක් මිස වන්දියක් ලෙස නොසැලකිය යුතු බවත් ගුණවර්ධන මහතා කීය.