මීටර් 300කට වඩා දිගින් යුත් විශාල පරිමාණයේ බහලුම් නෞකා තුනක් කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ එකම අවස්ථාවක නැංගුරම්ලමින් වාර්තාවක් පිහිටුවා ඇතැයි වරාය හා නාවික අමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
මින්පෙර ජය බහලුම් පර්යන්තයට විශාල නෞකා පැමිණියද එකම අවස්ථාවක විශාල නෞකා 03ක් එකවර පැමිණි පළමු අවස්ථාව මෙයබවත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහලුම් පර්යන්තය මෙම වාර්තාව ඊයේ(09දා)පිහිටු වූ බවත් එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි දැක්වෙන පරිදි MSC Jovanna, Ever Lenient සහ MSC Toronto එම නෞකා වේ. මේ අතරින් මීටර් 337ක දිගින් යුත් MSC Jovanna නෞකාවෙහි සමස්ත බහලුම් ධාරිතාව 9178 ක් වන අතර,මීටර් 335 ක දිගින් යුත්Ever Lenient නෞකාවේ සමස්ත බහලුම් ධාරිතාව 8500ක් වේ. MSC Toronto නෞකාව මීටර් 325ක දිගින් යුක්ත අතර, එහි සමස්ත බහලුම් ධාරිතාව 8089 ක් වේ.
කොළඹ වරායේදී මෙම නෞකා ත්‍රිත්වය මේ වනවිට මෙහෙයවූ බහලුම් ප්‍රමාණය 6188ක් ලෙස සටහන් වන බවද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.