2015 මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ හෘදසාක්ෂියේ සම්මුතියෙන් කියූ පරිදිම විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන බවත්, මෙම ජනවරම රටටත්, රටේ ජනතාවටත් හතුරු ලෙස උපයෝගී කර නොගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද (18දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
“මෑත කාලයේ පැවැති මැතිවරණ හා සසඳද්දි සැලකිය යුතු නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස පාර්ලිමේන්තු මැතිවරණය හඳුන්වාදෙන්න පුළුවන්. ජ.වි.පෙ. අපි ශක්තිමත්ව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූවා. නමුත් අපි මීට වඩා ප්‍රතිඵලයක් ජනතාවගෙන් අපේක්ෂා කළා. මෙම ජයග්‍රහණය මෑත කාලයේ අපි අත්නොවිඳපු ජයග්‍රහණයක්. ඒ මන්දයත් පසුගිය පාර්ලිමේන්තුවේ අපේ නියෝජනය මීට වඩා අඩු නියෝජනයක්. එමෙන්ම මෙම ජනවරම අපි ඉදිරියේදී පුළුල් ජනතා ව්‍යාපාරයක් වෙනුවෙන් මෙහෙයවීමට කටයුතු කරනවා" යැයි පැවසිය.
මෙම මාධ්‍ය හමුවේදී ආණ්ඩුව හා එක්වී කටයුතු කරන්නේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජ.වි.පෙ. නායකයා පවසා සිටියේ සිය පක්ෂය සන්ධාන, සභාගවලට කිසිසේත්ම එකතු නොවන බවත්, ප්‍රධාන පක්ෂ දෙකෙන් මන්ත්‍රීවරු මිලදීගෙන හෝ නැත්නම් වරප්‍රසාද ගෙන ආණ්ඩුවලට පැනීම තම පක්ෂය දැඩි ලෙස හෙළාදකින බවත්ය.
තම පක්ෂය මෙම ජනවරම ආණ්ඩු පෙරළීමට වඩා පුළුල් සමාජ පරිවර්තනයක් උදෙසා මෙහෙයවීමට බලාපොරොත්තු වන බවත්, ඉදිරියටත් ප්‍රතිපත්ති මත දේශපාලනය මෙහෙයවීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කියා සිටියේය.
මෙහිදී මාධ්‍යවේදියෙකු ජ.වි.පෙ. නායකයාගෙන් විමසා සිටියේ එ.ජා.ප.ය සමග එකතු වී වැඩ කිරීමෙන් රතු අලින් බවට පත්වීම නිසා මෙවර ජනතාව ජ.වි.පෙ. ප්‍රතික්ෂේප කර ඇති බව පිළිගන්නේද යන්නයි.
“අපිට රතු අලින් යැයි දෝෂාරෝපණය කළ අයත් දන්නවා අපේ ප්රත්පත්තිය කුමක්ද කියන්න. එමෙන්ම මැතිවරණයෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ.වි.පෙ. පුද්ගලයන් මෙවර ජනතාව ප්‍රතික්ෂේප කර ඇතත් දේශපාලනයේ ඇති හැලහැප්පීම් තේරුම්ගෙන ඉදිරියේදී තව තවත් ශක්තිමත්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා" යනුවෙන් කියා සිටියේය.
එමෙන්ම මෙවර පාර්ලිමේන්තුවේදී නීති සම්පාදනයට හා ජනතාවගේ මූල්‍ය පාලනය නිවැරදි දිශානතියක් දක්වා ගමන් කරවීමට ජ.වි.පෙ. පූර්ණ සහාය ලබාදෙන බවත්, ජනතාවට එරෙහි පනත් හා සිදුවීම් සිදුවන්නේ නම් ඒවා පරාජය කිරීමට හැකි උපරිම කාර්යභාරය පාට, පක්ෂ නොබලා සිදුකරන බවත් ජ.වි.පෙ. නායකයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා ප්රචාරක ලේකම් විජිත හේරත් යන මහත්වරු එක්ව සිටියහ.
ඡායාරූප-ඒශාන් ප්‍රනාන්දු