ස්ත්‍රී දූෂණය හා මනුෂ්‍ය ඝාතනය ආදී වූ බරපතල අපරාධ සිදුකරන වයස අවුරුදු 16 - 18 ත් අතර වයසේ පසුවන නව යෞවනයන්ට එරෙහිවද නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ පනතක් ඉන්දීය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.
මේ දක්වා වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයෙකු මෙවැනි අපරාධයක් සිදුකළේ නම්, ඉන්දීය නීතියට අනුව ඔහු හෝ ඇය උපරිම වසර තුනක කාලයක් පරිවාස භාරයේ තැබීම හැර වැඩිහිටියන්ට ලබාදෙන ආකාරයේ දඬුවම් පැමිණවීමක් සිදු නොවුණි.
කෙසේ වෙතත්, මේ නව නීතියට අනුව ඉදිරියේදී වයස අවුරුදු 16 - 18ත් අතර වයසේ පසුවන්නන්ටද පෙර කී වැරදි සම්බන්ධයෙන් වැඩිහිටියන් සේම දඬුවමට යටත් වීමට සිදුවනු ඇත.
2012 වසරේදී බස් රථයක් තුළදී සමූහ දූෂණයට ලක්වූ ඉන්දීය වෛද්‍ය සිසුවියගේ ඝාතනයට සම්බන්ධ අවසන් සැකකරු වයස අවුරුදු 18 ලැබීමට පෙර එම අපරාධය සිදුකර තිබීමත්, වසර තුනක පරිවාසයෙන් පසු ඔහු පසුගියදා නිදහස ලැබීමත් සමග ඇති වූ ජනතා නැගිටීමත් එරට පාර්ලිමේන්තුව මෙවැනි තීරණයක් ගැනීමට ආසන්නතම හේතුව වී තිබේ.
අද (22දා) ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් (රාජ්‍ය සභාවේදී) මෙම පනත් කෙටුම්පත සම්මත වී ඇත.