රටේ ජනතාවගේ ප්රශ්න තේරුම් නොගෙන ඇමති මණ්ඩලයේ ඔළුගෙඩි මාරු කිරීම තේරුමක් නොමැති බවත්, රටේ ජනතාවගේ ප්රශ්න තේරුම් ගෙන ආණ්ඩුව කළ යුතු වන්නේ පරාජය වීමට හේතු සෙවීම බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මන්ත්රී වරයා මේ බව කියා සිටියේ පසුගියදා (23දා) සවස අම්බලන්තොට, පුහුල්යාය ප්රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ මන්ත්රීවරයා,
''පසුගිය මැතිවරණයෙන් ජනතාව ප්රතික්ෂේප කරපු අයම තමයි දැන් මේ ඇමතිකමේ නම මාරු කරගෙන ආයෙත් වාඩිවෙන්නෙ. තව පුටුවක කෙනෙක් ඒ පුටුවේ වාඩි කළා කියලා ජනතාවගේ ප්රශ්න විසඳෙන්නෙ නෑ. ජනතාව පැහැදිලිව මේ කැබිනට් මණ්ඩලය ප්රතික්ෂේප කළා. අගමැතිවරයාව ප්රතික්ෂේප කළා. ආණ්ඩුව ප්රතික්ෂේප කළා. ජනාධිපතිවරයාව ප්රතික්ෂේප කළා..
අද රටේ පාතාලෙ හිස ඔසවලා. හැම තැනම මිනී මරා ගන්නවා. වෙඩි තියනවා. බස්වල බෝම්බ පුපුරනවා. ආර්ථිකය කඩාගෙන වැටිලා. රුපියල බින්දුවට වැටෙනවා. හෙට, අනිද්දා වෙනකොට ගෑස් මිල වැඩි වෙනවා. අයි.එම්.එෆ්. වාරිකය අනුව ආණ්ඩුව විදුලි බිල වැඩි කරන්න ඕන. පෙට්රල් මිල වැඩි කරන්න ඕන. කොහොමද මේ ආණ්ඩුව මේවාට මුහුණ දෙන්නෙ. මේ කාඩ් කූට්ටමේ පුටු මාරු කළා කියලා, ඔළුගෙඩි මාරු කළා කියලා මේ ප්රශ්නවලට මුහුණ දෙන්න බෑ කියන එක මේ ආණ්ඩුව තේරුම් ගන්න ඕන'' යැයි පවසා සිටියේය.