දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ග්වෙන්-හයි තම සමීප මිතුරියක දේශපාලන හා රාජතාන්ත්රික ප්රතිපත්තිමය කටයුතු සඳහා සම්බන්ධ කරගැනීම හරහා ඇගේ ජනාධිපතිධුරයට තර්ජනයක් ඇති කර තිබේ.
මේ වනවිට දකුණු කොරියාවට පැමිණ සිටින චෝයි සූන්-සිල් නැමති මෙම මිතුරිය එරට රාජතාන්ත්රික ප්රතිපත්තිමය කටයුතු කෙරෙහි මෙන්ම, ප්රධාන පෙළේ සමාගම් කිහිපයකටද බලපෑම් කර ඇති බව අනාවරණය වීමත් සමග ජනාධිපතිනිය සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට විරුද්ධ පක්ෂ කණ්ඩායම් උද්ඝෝෂණය කරති.
සඳුදා (01දා) දිනයේදී අත්අඩංගුවට පත් ඇය පැය 48ක කාලයක් රඳවා තබාගැනීමට තීරණය වී ඇති අතර, ඇය රටින් පැනයාම වැළැක්වීමට මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත්, ඇය නිල වශයෙන් තවදුරටත් අත්අඩංගුවට ගැනීම අධිකරණය විසින් තීරණය කරනු ඇති බව විදෙස් වාර්තා පවසයි. කෙසේ වෙතත් ඇය සම්බන්ධ පරීක්ෂණ මේ වනවිටත් ඇරඹී තිබේ. මේ අතර, මෙම මිතුරු සබඳතාව හා බැඳුණු බැංකු 08ක් සම්බන්ධයෙන්ද විශේෂ පරීක්ෂණයක් සිදුව තිබේ.
එහිදී, මෙම මිතුරියගේ මුදල් ගනුදෙනු පිළිබඳ ලිපිලේඛන රජසන්තක කිරීමටද බලධාරීන් කටයුතු කරන බව එරට යොන්හැප් පුවත් ඒජන්සිය අනාවරණය කරයි.
එමෙන්ම, ජනාධිපතිනියගේ මිතුරියට මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් මෙන්ම, ඇය තමාට වාසි සැලසෙන ලෙස සමාගම් වෙත බලපෑම් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා ගොනුවී ඇති බව එම පුවත් වාර්තා වැඩිදුරටත් පවසයි.