මෙවර මැයි දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැහැදිලිවම අභියෝගයක් තිබූ නිසා තම පක්ෂය එය ඉහළින්ම සැමරීමට ක්‍රියා කළ බව ශ්‍රීලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.
ගාල්ලට පැමිණි ලක්ෂ සංඛ්‍යාත පාක්ෂිකයන් පිරිස හා සසඳන විට කිරුලපන රැලියට පැමිණ සිටියේ ගාල්ලේ පිරිසෙන් ¼ ක පමණ පිරිසක් බවද පැවසූ ඇමතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ගාලු රැලිය සඳහා පැමිණි වාහන හත් අට සියයකට පමණ රැලිය පැවැති ක්‍රීඩාංගණය අසලට හෝ පැමිණිය නොහැකි වූ බවද කීය.
"මැයි දිනය කියන්නේ කම්කරුවන්ගේ දිනයයි. කම්කරුවන්ගේ ඉල්ලීම්වලට සහාය පළකිරීම අපේ අරමුණයි. අපේ වෘත්තීය සමිති ඉදිරියෙන් තබාගෙනයි අපි මේ මැයි දිනය සමරන්නේ.
අපේ පක්ෂයේ ටික දෙනයි කිරුලපන ගියේ. කොහොමත් දිනේෂ් ඇමතිතුමාලා, කොමියුනිස්ට් පක්ෂය, වාසු වැනි අය වෙනම මැයි දිනය සමරනවා. මේ සැරේ වෙනසකට වුණේ අපේ හිටපු ජනාධිපතිතුමා සහ මන්ත්‍රීවරුන් පිරිසක් එතනට යාමයි.
සමහරු එතනට තනියම ගියා. සමහරු නොගිහින් හිටියා. සමහරු ගාල්ලට ආවා. අපේ තක්සේරුව අනුව ගාල්ලට පැමිණි පිරිසෙන් ¼ ක් පමණයි කිරුලපනට ගියේ"