දේශපාලඥයන් සොරාගත් මැයි දිනය නැවත කම්කරුවන් අතට ගැනීමේ සටන මැයි පළමු වැනිදායින් ආරම්භ කළ බව ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.ලංකා බැංකු සේවක සංගමය, නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමය, ලංකා වෙළෙඳ කාර්මික පොදු සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය හා තැපැල් හා විදුලි සංදේශ නියාමන සංගමය ඇතුළු වෘත්තීය සමිති 17 ක් එකතුව කොළඹ මුත්තයියා ක්රීඩාංගණයේ පැවැති මැයි දින රැලියේදී වෘත්තීය සමිති නායකයෝ මේ බව සඳහන් කළහ.
මැයි දින රැලිය ඇමතූ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සාමාජික, නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාක්ස් මහතා සඳහන් කළේ, කම්කරු අයිතිවාසිකම් කප්පාදු කළ හා කම්කරු සටන්වල නිරත කම්කරුවන්ගේ ලේ හැලූ මහින්ද රාජපක්ෂ මහතාට, මෛත්රීපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්රමසිංහ මහතාට කම්කරු දින සැමරුම් පැවැත්වීමට අපි සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.
තමන්ගේ බලය ගැන කතා කිරීමට දේශපාලන පක්ෂ මැයි දින රැලි පවත්වමින් තිබෙන බවත්, මේ නිසා කම්කරු අයිතිවාසිකම් දිනාදීමේ විපක්ෂයේ කාර්යභාරය ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව බාරගන්නා බවත් සඳහන් කළේය.
මුත්තයියා ක්රීඩාංගණයේ පැවැති ස්වාධීන වෘත්තීය සමිති මැයි දින රැලියට කොල්ලුපිටිය 22 වැනි පටුමගෙන්, මැක්ලන් පාරෙන් සහ ලංකා බැංකු මූලස්ථානය අසලින් ආරම්භ වූ පෙළපාළි තුනකින් ජනතාව සහභාගි වූහ.
වැඩ කරන ජනතාව නියෝජනය කරමින් ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව ඊයේ (මැයි 01දා) මැයි පෙළපාළියක් සහ මැයි රැලියක් පැවැත්විණි. ඔවුන් තම රැලිය පැවැත් වීමට පිටියක් ඉල්ලා තිබුණත් ඔවුන්ට ලබා දී තිබුණේ තවමත් නවීකරණ කටයුතු සිදු කරන මුත්තයියා ක්රීඩාංගණයයි. පෙරදිනයේ මහ වැස්සෙන් මඩ ගොහොරුවක් වූ මේ පිටියේ රැස් වෙන්නට නොහැකි වූ දේශපාලන පක්ෂයන්ට ගැති නොවූ කම්කරුවෝ අසීරුවෙන් කතිකයන්ට සවන් දුන්හ. මැයි දිනයේ වැඩකරන ජනතාවගෙන් සැදුණු වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ඉරණම එය විය.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු