වසර දෙකට ආසන්න කාලයක් පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමූ ආකාරයටම පළාත් සභා ඡන්ද විමසීමද, දින නියමයක් නොමැතිව කල් දැමීම සඳහා රජය මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටින බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව දිවයිනේ සියලුම පළාත් සභා ඡන්ද විමසීම් එකවර පැවැත්වීමට අවශ්‍ය බව කියමින් ලබන අගෝස්තු මස කාලය අවසන් වීමට නියමිත නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා ඡන්ද විමසීම් කල් දමා ගැනීම සඳහා රජය සැලසුම් සකස් කරමින් සිටී.
පළාත් සභා ඡන්ද විමසීම් පනතට අනුව නියමිත කාල සීමාව අවසන් වීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම අනිවාර්යය වේ. එබැවින් පළාත් සභා ඡන්ද විමසීම කල් දමා ගැනීමට නම් පාර්ලිමේන්තුව මගින් තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් නව පනතක් සම්මත කරගත යුතු වේ. එසේ තිබිය දී, පළාත් සභා ඡන්ද විමසීම කඩින්කඩ පැවැත්වීම සිදුනොකළ යුතු බව පවසමින් නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් ඡන්ද විමසීම් කල්දමා ගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක් සුදානම් වෙමින් සිටී.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව කිසිදු ආකාරයේ ඡන්ද විමසීමක් පැවැත්වීම රජය ඉතා සැලසුම් සහගත ලෙස කල් දමමින් සිටී. එය ජනතා පරමාධිපත්‍යය පමණක් නොව මහජනතාවගේ කැමැත්ත අනුව මහජන නියෝජිතයන් තෝරා පත් කරගැනීම සඳහා ඇති අයිතිය අහිමි කිරීමකි. එය එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය පමණක් නොව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය කිරීමකි.
රටේ නීතියටත්, ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ටත් එරෙහිව යමින් අත්තනෝමතික ලෙස දිගින් දිගටම මැතිවරණ කල් දමා ගැනීමට රජය දරන උත්සාහය පුරවැසියන් සතු මුලික අයිතිය උල්ලංඝණය කිරීමකි.