මැතිවරණ නීතියට අනුව අද (14දා) මධ්‍යම රාත්‍රී 12.00න් පසු කිසිදු මැතිවරණ ප්රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි අතර, මෙම නීතිය උල්ලංඝනය කරනා සියලුදෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම නීති උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ මෙහෙයුම් සහ ජංගම පොලිස් රථ යොදවා තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මීට අමතරව හෙට (15දා) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පවත්වාගෙන යෑමට නීත්‍යානුකූලව අවසර ලබාදී තිබෙන සියලුම මැතිවරණ ප්රචාරක කාර්යාල රාත්‍රී 12.00 පමණ වනවිට ඉවත් කළ යුතු බවත්, එම නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවද පවසා සිටියේය.
16 වැනිදා සිට මෙවැනි කාර්යාල තිබේදැයි පොලිස් ස්ථාන මට්ටමින් සොයා බලන බවත්, 15 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 න් නීත්‍යානුකූලභාවය අවසන් වී ඇති සියලුම කාර්යාල ඡායාරූප සහ වීඩියෝගත කර අධිකරණය ඉදිරියේ නඩු පවරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මීට අමතරව ඡන්ද මධ්‍යස්ථානයකට මීටර් 500 ක් ඇතුළත කිසිදු ප්රචාරක කාර්යාලයක් පවත්වාගෙන යා නොහැකි බවත්, එවැනි කාර්යාලය වෙතොත් ඒවාද ඡන්දය දිනයේදී ඉවත් කළයුතු බවද පවසා සිටියේය.