අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මහමැතිවරණය පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව ආණ්ඩුවේ පක්ෂ අතර අර්බුදයක් හටගෙන ඇති බවට 'අද' පුවත්පතට වාර්තා වේ. ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි මැතිවරණ ක්‍රමය සංශෝධනය කර ඊට අදාළව එළඹෙන මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණද ලබන මැතිවරණය පෙර පරිදි සමානුපාතික ක්‍රමයට අනුව පැවැත්වීමට ආණ්ඩුවේ හා විපක්ෂයේ පක්ෂවල වැඩි සාමාජිකයන් පිරිසක් මේ වනවිට කැමැත්ත පළ කිරීම නිසා මෙම අර්බුදය හටගෙන තිබේ.
වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එළඹෙන මාර්තු 02 වැනිදා වනවිට නව මැතිවරණ ක්‍රමය පිළිබඳ කමිටු යෝජනා ලබාගෙන ඒ අනුව අදාළ නීති සකස් කිරීමටත්, මාර්තු 17 වනවිට නව මැතිවරණ ක්‍රමය ඇතුළත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකිතාක් ඉක්මනින් එය සම්මත කර ගැනීමටත් නියමිතව තිබේ.
මෙහිදී ඇතැම් පක්ෂ පොරොන්දු වූ ආකාරයට මැතිවරණ ක්‍රමය වෙනස් කර ඡන්දයකට යා යුතු බව පවසා සිටියත්, ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු මත දෙකක් පලකිරීම මූලික අර්බුදයක් වී තිබේ. ජාතික හෙළ උරුමය මේවන විට මැතිවරණ ක්‍රමය සංශෝධනය කර මහ මැතිවරණයට යා යුතුය යන ස්ථාවරයේ ම තවදුරටත් පසුවෙයි. ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන පක්ෂ අතර මේ සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් පැවතීම තුළ මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කර ඡන්දයකට යෑම අර්බුදයක් වනු ඇති බවට ඔවුන් විශ්වාස කරන බවද වාර්තා වෙයි.
මේ තත්ත්වය තුළ පවතින මැතිවරණ ක්‍රමය තුළින්ම එළැඹෙන මහ මැතිවරණය පැවැත්වීමට වැඩි ඉඩකඩක් පවතින බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ ආණ්ඩුවට සහය දක්වන පක්ෂ නායකයින්ගේ හමුවක් ඉදිරි දින කීපය තුළ දී පැවැත්වීමටද නියමිතව තිබේ.