පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ නොපැවැත්වීමට හෝ මැතිවරණ කල්දැමීමට කිසිඳු උවමනාවක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය
රටතුළ ප්රජාතන්ත්රවාදය ඇති කිරීමට අප රජය ලද ජනවරම තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින අතර එම ස්ථාවරයේ කිසිඳු වෙනසක් සිදුවී නොමැත. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ නොපැවැත්වීමට හෝ මැතිවරණ කල්දැමීමට කිසිඳු උවමනාවක් රජයට නොමැත.
එසේම පළාත් පාලන ආයතනයන්හි නියෝජනය වැඩි කරමින් සියයට 25ක කාන්තා නියෝජනයක් සහතික කර පළාත් පාලන ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සියලු පියවර රජය විසින් ගන්නවා.
කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව විසින් සකස් කරන ලද සීමා නිර්ණය කිරීමේ වාර්තාව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 3 ඇ වගන්තිය යටතේ අංක 1928/26 හා 2015 අගෝස්තු 21 දා ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මේ සීමා නිර්ණය කිරීමේ කමිටුව විසින් කරනු ලැබූ කටයුතු සම්බන්ධයෙන් දැවැන්ත මහජන විරෝධයක් එල්ල වූ අතර එමඟින් ජාතික සංහිඳියාව බිඳවැටෙන බවට ද චෝදනා එල්ල විය.
ඒ අනුව කොට්ඨාශ සීමා නිර්ණය කිරීම පිළිබඳ ඉදිරිපත් වී ඇති අභියාචනා විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනතේ 3 ඇ වගන්තිය යටතේ පළාත් පාලන ආයතන කොට්ඨාශ සීමා නිර්ණය විමර්ශන කමිටුවක් පත්කරන ලදී.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි එම කමිටුව පත්කරනු ලැබූ අතර එයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම සඳහා නිලධාරී කමිටුවක් ද පත්කරන ලදී. එම කමිටුව විසින් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනදේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා මහජනතාව වෙත සිය නියෝජනය ඉදිරිපත් කිරීම සඳහා 2015 වසරේ නොවැම්බර් මස 30 දා දක්වා මාසයක් කල් ලබාදෙන ලදී.
එහෙත් මෙලෙස ලබාදෙන ලද කාලය මසක් ප්‍රමාණවත් නොවන බව ඇමැතිවරයා විසින් විමර්ශන කමිටුව විසින් තීරණය කරනු ලැබූ අතර ඒ අනුව කාලය තවත් මසකින් දීර්ඝ කරන ලදී. එහෙත් ඊට පසුද තවදුරටත් පැමිණිලි හා යෝජනා ලැබෙමින් පැවැති බැවින් පසුගිය පෙබරවාරි මස 20 දා පැමිණිලි හා යෝජනා බාරගැනීම අවසන් බවට නිවේදනය නිකුත් කරන ලදී. එහෙත් එම දිනෙන් පසුව ද තවදුරටත් පැමිණිලි හා යෝජනා ලැබෙමින් පවතී. මේ හේතුවෙන් සීමා නිර්ණය පිළිබඳ පැමිණිලි හා යෝජනා විමර්ශනය කිරීමේ කාර්යය අපේක්ෂිත තත්ත්වයට වඩා සංකීර්ණ තත්ත්වයට පත්ව තිබේ.
මේ අභියාචනා සළකා බැලීමේ ක්‍රියාවලිය තුළින් කොට්ඨාශ සීමා මායිම් නැවත සළකා බැලීමෙන් අනතුරුව සීමා නිර්ණය කිරීම පිළිබඳ අවසන් තීරණයට එළඹිය යුතුව ඇති අතර මේ කමිටුවේ කටයුතු අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරනු ඇත. ඒ ආකාරයට සීමා නිර්ණය පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන තෙක් පලාත් පාලන මැතිවරණයක් පැවැත්වීමේ කිසිඳු නෛතික හැකියාවක් නොමැති බවත් ජනතා නියෝජනයක් සහතික කිරීමේ නොහැකි කොට්ඨාශ සීමා නිර්ණයක් තුළ මැතිවරණයක් පැවැත්වීම යහපාලන රජයේ ජනවරමට හා ප්රජාතන්ත්රවාදී මූලධර්මවලට ද පටහැනි බව අවධාරණය කරමි.
එසේ දැනට පළාත් පාලන ආයතනවල පරිපාලනය බිදවැටී ඇති බවට විවිධ පාර්ශව විසින් සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරනවා. රජය විසින් සීමා නිර්ණය කිරීමේ කටයුතු ප්‍රමාද කරන බවට ද එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා. යනුවෙන්ද පැවසීය