පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ඥාතීන් වන පොලිස් නිලධාරීන් 105 දෙනෙකුට හා පොලිස් ආරක්ෂක සහායකයන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ඔවුන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක අපේක්ෂිකාවන් ඉදිරිපත්ව සිටින කොට්ඨාසයේ පොලිස් ස්ථානවල සේවය කිරීම නිසා තාවකාලික පදනමින් මෙලෙස අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
අදාළ ස්ථාන මාරුවීම් සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ඥාතීන් වන පොලිස් නිලධාරීන් ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ලැබුණු උපමාන ප්රකාරව වහාම ක්රියාත්මක වන පරිදි තාවකාලික පදනමින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
මේ අතර, පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව අද (22දා) පැවැති තැපැල් ඡන්ද විමසීම සාර්ථකව අවසන් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා දින තුනක් ප්රකාශයට පත්කර තිබෙන අතර, අද (22දා) දිනය වෙන්කර තිබුණේ, පොලිස් නිලධාරීන්, මැතිවරණ කාර්යාල සහ දිස්ත්රික් ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරීන් හා සේවකයන් වෙනුවෙනි.