කාර්යාලයක් නඩත්තු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මසකට රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබාදීම සඳහා සහ මැති ඇමතීන් කීපදෙනෙකුට වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි ගණනක මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් විය.
පසුගිය දෙසැම්බර් (31 දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් අනුව එය ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ මෙම පරිපූරක අස්තමේන්තුවේ සඳහන් වෙයි.
ජාතික අයවැය දෙපාර්තුමේන්තුව යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සපයා ඇති අතිරේක ප්‍රතිපාදන යටතේ මෙම ඉල්ලීම සිදුකර තිබේ.
වාහන මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා ඇති මැති ඇමතීන් අතර කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුද කීපදෙනෙක් සිටිති.
මෙහිදී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් ලබාගැනීම සඳහා රුපියල් 4,300,000ක්ද , විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයාට වාහනයක් ලබාගැනීමට මෙහෙයුම් කල්බදු පියවීම සඳහා රුපියල් 12,475,000ක්ද, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාට වාහනයක් ලබාගැනීම සඳහා රුපියල් 42,548,000ක්ද, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයාට වාහනයක් ලබාගැනීම සඳහා රුපියල් 43,000,000ක්ද, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයාට වාහනයක් ලබාගැනීම සඳහා රුපියල් 43,000,000ක්ද, නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ ලබාගත් වාහන සඳහා කල්බදු කුලී ගෙවීමට රුපියල් 5,865,000ක්ද වෙන්කර තිබේ.
තවද විශේෂ කාර්යභාර අමාත්‍යවරයාට වාහනයක් ලබාගැනීම සඳහා රුපියල් 42,600,000ක්ද, විපක්ෂනායකවරයාට වාහනයක් මිලදීගැනීම සඳහා රුපියල් 37,473,540ක්ද, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යවරයාට වාහනයක් මිලදීගැනීම සඳහා රුපියල් 43,000,000ක්ද, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයාට හා රාජ්‍ය අමාත්‍යවරයාට වාහන මිලදීගැනීම සඳහා රුපියල් 86,000,000ක්ද සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයාට වාහනයක් ලබාගැනීම සඳහා රුපියල් 43,000,000ක්ද, අදාළ ඇස්තමේන්තුව මගින් ඉල්ලා ඇත.
එමෙන්ම මෙම ඇස්තමේන්තුව මගින් විගණකාධිපතිවරයාට වාහනයක් සඳහා බදු කුලී වෙනුවෙන් සහ ඩබල් කැබ් රථ 25 ක් සඳහා රුපියල් 62,250,000ක්ද,ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා මෝටර් රථයක් මිලදීගැනීම සඳහා රුපියල් 8,907,000ක්ද ඉල්ලා තිබේ.
මීට අමතරව ඒ අනුව මෙම පරිපූරක ඇස්තමේන්තුව මගින් ජනාධිපතිවරයාගේ හිඟ බිල්පත් නිරවුල් කිරීම සඳහා රුපියල් 308,500,000ක්ද, අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ක්‍රියාත්මක නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා කෙටුම්පත පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා රුපියල් 10,893,104ක්ද ඉල්ලා තිබේ. එමෙන්ම රටේ සංවර්ධන කටයුතු හා අමාත්‍යාංශවල එදිනෙදා පවත්වාගෙන යෑම සඳහාද වෙනමම රුපියල් කෝටි ගණනක මුදල් ප්‍රතිපාදන ඉල්ලා ඇත.