මොනරාගල පළාත්බද අධිකරණයේදී අද (05දා) අපේක්ෂකයෙකු විසින් ඉදිරිපත් කළ මැතිවරණ පෙත්සමක් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් 90 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළේය.
2018 පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් මොනරාගල දිස්ත්රික්කයේ, මොනරාගල ආසනයේ, මදුරකැටිය කොට්ඨාසයට තරගවැද පරාජය වූ අපේකෂකයෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ මහාධිකරණ විනිසුරු ප්රදිප් අබේරත්න මහතා නඩුවට නොපැමිණ සිටීම හේතුවෙන් , මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්, මොනරාගල සහකාර මැතිවරණ කොමසාරිස්වරයා හා දිස්ත්රික් තේරිම්භාර නිලධාරිනිය ලෙස කටයුතු කළ මොනරාගල දිස්ත්රික් ලේකමි ඩි.එස් පද්මකුලසුරිය මහත්මිය ඇතුළු වගඋත්තරකරුවන්ට මෙම මස 21 වැනි දින නඩුව යළි කැඳවන දිනයේදී පෙනී සිටින ලෙස නියෝග කරමින් මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.
මෙම ඡන්ද පෙත්සම මගින් එම පළාත් පාලන මැතිවරණයේදී මදුරකැටිය ඡන්ද කොට්ඨාසයෙන් ශ්රි ලංකා පොදුජන පෙරමුණ යටතේ තරගවැද ජයගත් අපේකෂකයෙකු කොට්ඨාසය තුළ ඡන්ද දුෂණ කටයුතුවල නිරත වූ හෙයින් එම මන්ත්රීවරයාගේ මන්ත්රී ධුරය අහෝසි කර නැවත එම කොට්ඨාසය සඳහා මැතිවරණයක් පවත්වන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියි.
මොනරාගල - නයනජීව බණ්ඩාර