කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණෙන ඇතැම් ගුවන් මගීන්ගේ ගමන් මලු නැතිවීම් සම්බන්ධව ඉකුත් මාස තුනක කාලයකදී පැමිණිලි 75ක් ලැබී ඇතැයි ගුවන් තොටුපොළ පොලීසිය පවසයි.
ලද පැමිනිල්ලකට අනුව මැදපෙරදිග රටක සිට පෙරේදා (25දා) කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් මගියෙකුට අයත් විදේශීය මුදල් සහ වටිනා දේපළ තිබූ ගමන් මල්ලක් ගුවන්තොටුපළ (බැගේජ් බෙල්ට්) අසලදී නැතිවීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළ ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කර එය රැගෙන ගිය පුද්ගලයා සොයා ගැනීමට කටයුතු කර ඇති බව ගුවන්තොටුපළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ. ජයනාත් වනසිංහ මහතා පවසා සිටියේය.
කටුනායක ගුවන් තොටුපළට ගුවන්යානයක් ගොඩබෑ පසුව මගීන් පැමිණ තමන්ට අයත් ගමන් මලු ලබා ගැනීමට පැමිණීමේ පර්යන්තයේ රැඳී සිටින අවස්ථාවන්හිදී ඇතමෙකු විසින් අතපසුවීම හෝ හිතාමතා වෙනත් අයෙකුට අයත් ගමන් මලු රැගෙන ගුවන්තොටුපළින් පිටව ගොස් ඇති අවස්ථා සැලකිල්ලට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇති බවද හෙතෙම පවසා සිටියේය.
මෙසේ නැතිවී ඇති වටිනා දේපළ සහිත ගමන් මලු සොයාදීමට සහ දින 21 පසුව රක්ෂණ වන්දි ලබා ගැනීම් සම්බන්ධව ගුවන් සමාගම් සමග කටයුතු කිරීමේදී ගැටලු මතුව ඇතැයිද පොලීසිය පවසයි.
සාවද්‍ය පරිහරණය හා විශ්වාසය කඩකිරීම යන කරුණු මත අන් අයෙකුට අයත් ගමන් මලු හෝ දේපළ රැගෙන ගොස් ඇති සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් පුද්ගලයන්ට නඩු පවරා ඇති බවද පොලීසිය වැඩිදුරටත් පවසා සිටියි.
සීදූව විශේෂ ප්‍රසාද් මුතුකුඩ