මේ වසරේ ගතවූ කාලසීමාව තුළදී ශ්‍රී ලාංකිකයන් 201කට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
2016 වසරේදී හා 2015 වසරේදී පිළිවෙළින් 369ක් හා 85ක් ශ්‍රී ලාංකිකයන් එරට රැකයා සඳහා පිටත්ව ගොස් තිබේ.
ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිකර ගත් 22කුට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 12 වැනිදා සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය පවසා සිටියේ, වත්මන් රජය යටතේ ඊශ්‍රායෙල් රැකියා අවස්ථා පුළුල් කර අති බැවින් ශ්‍රී ලංකේය ශ්‍රමිකයන් එරටට යොමු කිරීමට හැකියාව ලැබී ඇති බවයි.
පසුගිය වසරේදී ඊශ්‍රායෙල් රාජ්‍යයේ සිදුකළ සංචාරය අතුරතුරදී එරට ඉහළ පෙළේ නායකයන් සමග සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රැකියා අවස්ථා ප්‍රමාණය වර්ධනය කර ගැනීමට හැකිවූ බවද අමාත්‍යවරිය පවසා සිටියාය.
මීට අමතරව තම සේවා ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු නීතිවිරෝධී අයුරින් එරට රැඳී සිටින මෙරට ශ්‍රමිකයන් 59 සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට නියමිත බවද ඇය පැවැසුවාය.
මේ හේතුවෙන් රැකියා සඳහා පිටත්ව යන පිරිස සිය ගිවිසුම් කාලය අවසන් වූ පසු යළි දිවයිනට පැමිණිය යුතු බවත්, සේවා ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු එරට රැඳී සිටින ශ්‍රමිකයන් වෙනුවෙන් ඇපකරවලට ඉදිරිපත් වූ අයට නීතිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලන බවත් අමාත්‍යවරය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.