හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත් කොට තිබූ නියෝගය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය විසින් ඉවත් කරන ලදී.
අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා මාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කොට තිබුණද, ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට පැමිණ බාරවීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නියම කොට තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
2014 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සමග කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලට අදාළව මෙලෙස නියම විය.
මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ පසුගිය (18දා)වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිමට නොහැකි වීම නිසා ඔහුට වරෙන්තු නිකුත් කොට තිබූ අතර, නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට පැමිණි මාලක සිල්වා අධිකරණය හමුවේ පෙනී සිටිමට නොහැකි වීම සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
එය සලකා බලා වරෙන්තුව යළි කැඳවූ මහේස්ත්‍රාත්වරිය නැවත මාර්තු 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියම කළාය.