විදුලි ඉල්ලුමට සරිලන ලෙස බලාගාර ඉදි නොකිරීම නිසා සහ පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා මාර්තු මාසය වනවිට විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
ජල විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල පොදුවේ ජල මට්ටම 40% දක්වා පහත වැටී තිබෙන බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට ඉදිරි මාස දෙක තුන තුළද වර්ෂාව නොලැබෙනු ඇති බවත් එම සංගමයේ සභාපති, ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.
පසුගිය වසරේ මෙම කාලය තුළදී ජල විදුලිය නිෂ්පාදනය කළ ජලාශවල ජල මට්ටම 99%කට ආසන්න මට්ටමක පැවැති බවද ඔහු පවසා සිටියේය. විදුලි බලාගාර ඉදිකිරීමට දිගුකාලීන සැලසුම් තිබුණද නොරොච්චෝලේ තුන්වැනි අදියර ක්‍රියාත්මක වූ 2013 වසරින් පසු මහා පරිමාණ බලාගාරයක් මෙරට තුළ ඉදිකර නොමැති බවත්, සාම්පූර් බලාගාරය ඉදිකිරීමට සැලසුම් කළද එය ඉදිකිරීම 2021 දක්වා කල් ගොස් තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මීට අමතරව නොරොච්චෝලේ ප්‍ර‘දේශයේ හා හම්බන්තොට ප්‍ර‘දේශවල ඩීසල් බලාගාර ඉදිකිරීමට සැලසුම් කළද, අදාළ බලාගාර හරහා විදුලිය ලබාගැනීමට සිදුවන්නේ 2019 වසරේදී බවද සභාපතිවරයා කියා සිටියේය.
මේ අනුව ඉදිරියේදී පැමිණෙන විදුලි අර්බුදයට මුහුණදීම සඳහා පසුගිය කාලයේ පද්ධතියට විදුලිය ලබාදුන් පුත්තලම හා මාතර පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය ලබාගත යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
දැනටමත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඩීසල් බලාගාරයකින් මෙගාවොට් 100 ක ධාරිතාවක් ලබාගන්නා බවත්, එහෙත් එම මිලදී ගැනීම්වලට පවා මහජන උපයෝගිතා කොමිසම විවිධ නීතිරීති මතුකරන බවත් ඔහු පවසා සිටියේය.
පුත්තලම ඩීසල් බලාගාරයෙන් මෙගාවොට් 100 ක් හා මාතර ඩීසල් බලාගාරයෙන් මෙගාවොට් 20 ක් මිලදීගත්තද විදුලි අර්බුදයට විසඳුම් නොලැබෙන බවත්, මේ නිසා මහා පරිමාණ හෝටල් සතු විදුලි ජනක යන්ත්‍රවලින් පවා විදුලිය ලබාගැනීමට සිදුවන බවත් හෙතෙම කියා සිටියේය. ඒ පිළිබඳ මේ වනවිට අවධානය යොමු වී තිබෙන බවද අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.