මාරවිල -මුදුකටුව කීනකැලේ වත්තේදී අද (12දා) පෙරවරුවේ වෙඩි වැදීමෙන් එම වත්තේ කළමනාකරු මියගොස් ඇතැයි මාරවිල පොලීසිය පවසයි.
කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි මිල්ටන් ඇන්ටනි ( 61) නැමැත්තෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
වතු කළමනාකරු ඔහු පදිංචි වී සිටි නිවස ඉදිරිපිට තුවාල සහිතව වැටී සිටින දුටු අවට වැසියකු ඒ පිළිබඳව පොලීසියට දන්වා තිබේ. ඉන් පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැටී සිටි තැනැත්තා පරීක්ෂා කළ අවස්ථාවේ ඔහු මියගොස් ඇති බවට අනාවරණය වූ බව පොලීසිය පවසයි.
මියගිය තැනැත්තා ආසන්නයේ වැටී තිබූ බෝර 12 වර්ගයේ ගිනිඅවියක් හා වෙඩි උණ්ඩ දෙකක්ද හමුවූ බවත් ඔහුගේ මුහුණු ප්‍රදේශයට වෙඩි වැදී තිබූ බවද පොලීසිය පවසයි.
මෙය ඝාතනයක්ද එසේ නොමැතිනම් සිය දිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණයවී නොමැති බවද පොලීසිය පවසයි.
මාරවිල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්.ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජයනාත් මහතා ප්රමුඛ පොලිස් නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
වෙන්නප්පුව - රවීන්ද්‍ර ලියනගේ