ඇවන්ගාඩ් නැව පිළිබඳව ඇත්ත පවසන්නේ කවුදැයි අද ජවිපේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය. ඇවන්ගාඩ් නැව පිළිබඳව පොලිසිය දැනගෙන හිටියේ නැති බවත් ඇවන්ගාඞ් නැවේ තිබුණු කිසිදු ආයුධයකට බලපත්‍ර නොතිබුණ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන විට පොලිය බාර අමාත්‍යවාරයා වන තිලක් මාරපන කිව්වා ඇවන්ගාඩ් නැව අත්අඩංගුවට ගැනීම පොලිසිය ලකුණු දාගන්න කරපු වැඩක් යනුවෙන් පවසා තිබෙනවා. මේ හේතුවෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට මේ වන විට නීති උපදෙස් ලබාගනිමින් සිටින බව ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කීය.
අද කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින්ය හෙතෙම මේබව පැවසීය. වැඩිදුරටත් කරණුදක්වමින් බිමල් රත්නායක මහතා මෙසේ පැවසීය
පාර්ලිමේන්තුවේ විවාදයෙන් මුළු රටටම හෙළිවුණා ඇවන්ගාඩ් පෙරමුණ මොකක්ද කියලා. ඒ වගේම රාජපක්ෂ කල්ලිය රකින යහපාලන කල්ලිය ගැනත් දැන් හෙළිරදරව් වෙලා තිබෙනවා. ඇවන්ගාඞ් ගනුදෙනුව පිළිබඳව පමණක් නෙවෙයි අපි පහුගිය කාලයේ සිදුවුණ මහාපරිමාණ වංචා දුෂණ 22ක් ගැන කරුණු හෙළිකළා. අනුර සහෝදරයාගේ කතාවෙන් 90%ක්ම වෙන්වෙලා තිබුණේ වෙනත් දුෂණ-වංචා ගැනයි. ඇවන්ගාඞ් ගැන කතා කළේ විනාඩි 5-6ක කාලයක් පමණයි. නමුත් තිලක් මාරපන ඇමතිවරයාත් අධිකරණ ඇමතිවරයාත් තවත් යූ.ඇන්.පී, මන්තී‍්‍රවරුන් පිරිසකුත් ඇතුළු කණ්ඩායම ඇවන්ගාඩ් සුද්ධ කිරීම වෙනුවෙන් අදහස් දැක්වුවා. පොලිසිය බාර ඇමතිවරයාත් අධිකරණය බාර ඇමතිවරයාත් ලෙස ඒ ඇමතිවරුන්ට වගකීමක් තිබෙනවා පසුගිය ජනවාරි මුල ඉඳලාම ඉදිරිපත් වුණු පැමිණිලි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැහැදිළි කිරීමක් කරන්න.
මොකද අපි ඉදිරිපත් කළ එම වංචා-දුෂණ සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් විමර්ශන සී.අයි.ඩි. විමර්ශන අවසන් කොට අදාල ලිපිගොණු නීතිපති දෙපාර්තමේන්තුවට බාරදී තිබුණත් තවමත් අධිකරණ කි‍්‍රයාමාර්ග අරගෙන නැහැ. එනිසා එම ඇමතිවරුන්ට වගකීමක් තිබෙනවා එම දුෂණ ගැන පැහැදිළි කිරීමක් කරන්න. නමුත් ඔවුන් එම වංචා-දුෂණ ගැන කිසිවක් කතා කළේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණේ ඇවන්ගාඞ් පිළිබඳව පැහැදිළි කිරීමට පමණයි.
පොලිය බාර අමාත්‍යවාරයා වන තිලක් මාරපන කිව්වා ඇවන්ගාඩ් නැව අත්අඩංගුවට ගැනීම පොලිසිය ලකුණු දාගන්න කරපු වැඩක් කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ කිව්වා, එම ඇවන්ගාඩ් නැව පිළිබඳව පොලිසිය දැනගෙන හිටියේ නැති බවත් ඇවන්ගාඞ් නැවේ තිබුණු කිසිදු ආයුධයකට බලපත්‍ර නොතිබුණ බවත්. දැන් කවුද ඇත්ත කියන්නේ? මාරපනද? රනිල් වික්රමසිංහද? පොලිසිය ලකුණු දාගන්න නම් මේ අත්අඩංගුවට ගැනීම කළේ එය පොලිසිය කළ නීතිවිරෝධී වැඩක්. තිලක් මාරපන ඇමතිවරයා කළ යුත්තේ පොලිසියට එරෙහිව කි‍්‍රයාමාර්ගයක් ගැනීමයි.
ජනවාරි මාසයේ සිට මාස 10ක පමණ කාලයක් අත ගගා ඩීල් දමමින් යන මේ ගමන වහා නතර කළ යුතුයි. නීතිපතිට ලබාදී තිබෙන වංචා-දුෂණ ලිපිගොණු සම්බන්ධයෙන් වහාම අධිකරණ කි‍්‍රයාමාර්ග ගත යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි මේ වනවිට සාකච්ඡා කර තිබෙනවා තිලක් මාරපන ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගේන්න. ඒ සඳහා අපි මේ වන විට නීති උපදෙස් ලබාගනිමින් ඉන්නවා.