බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ දෙන්නැයි අද (07) ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු විසින් ගෙන එන ලද යෝජනාව සභා සම්මත වීමත් සමග සභාපති උක්වත්තේ චන්දිම හිමියන් සභාව කල්තැබීමෙන් බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ විශේෂ සභා රැස්විමක් අද (07) පැවත්වීමට නියමිතව තිබූ අතර ඒ රැස්වීම ආරම්භවන අවස්ථාවේ එහි රැඳී සිටි මාධ්‍යවේදීන්ට ආරාධනා කර නොමැති බැවින් මාධ්‍යවේදීන්ට ඉවත්වයන ලෙස සභාපති චන්දිම හිමියෝ කීහ.
එයට විරෝධය දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු දිගින් දිගටම කෑ කෝ ගසන්නට වූ අතර බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව පැවැත්වෙන දිනයන්හි දී මාධ්‍යවේදීන්ට හිතාමතා ආරාධනා නොකරන බවත් ඒ නිසා මාධ්‍යවේදින්ට රැස්වීම ආවරණයට ඉඩ දිය යුතු බවත් කියා සිටියහ.
මේ අවස්ථාවේ දී දිල්රුක් අබේකෝන් මන්ත්‍රීවරයා (එක්සත් ජනතා නිදහස් සන්ධානය) මාධ්‍යවේදීන්ට රැස්වීම ආවරණය කිරීමට ඉඩදිය යුතු බවට යෝජනා කළේය. එම යෝජනාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් අබේසේකර මහතා ස්ථිර කළේය.
මේ යෝජනාව ස්ථිර කිරීමත් සමග සභාපති උක්වත්තේ චන්දිම හිමියෝ සභා කල්තැබූහ. සභාව කල් තැබීමට විරුද්ධව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් කෑ කෝ ගසමින් සිය විරෝධය පළ කළහ. මන්ත්‍රීවරු කියා සිටියේ සභාවේ ගැටළු මාධ්‍යයෙන් වසන් කිරීම සඳහා මාධ්‍යවේදීන්ට ආරාධනා නොකරන බවයි.
සභාපති උක්වත්තේ චන්දිම හිමියන් කියා සිටියේ මුදල් ගෙවීම් කිහිපයක් ඇතුළු අත්‍යාවශ්‍ය කරුණු කිහිපයක් වෙනුවෙන් පමණක් විශේෂ සභා වාරයක් කැඳවූ බවයි. විශේෂ සභාවාරයක් බැවින් මාධ්‍යවේදීන්ට ආරාධනා නොකළ බව ද සභාපති හිමියෝ කීහ.