මාගම්පුර වරායේ සේවකයන්ගේ රැකියා සම්බන්ධව මතුව ඇති අවිනිශ්චිතභාවය අවසන් කර ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට පාලන අධිකාරිය වහාම පියවර ගතයුතු බව කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකළේ ඊයේ (04දා) කම්කරු අමාත්‍යාංශයේදී වරාය සේවකයන් සහ පාලන අධිකාරිය සමග මෙම ගැටලුව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
මාගම්පුර වරාය සේවක වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර සිටියේ 466ක්වන තම සේවක පිරිස වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙසයි. ඒසේම සිදුකළ සමීක්ෂණයට අනුව අවම මිලියන 5ක වන්දියට කැමති වූ අයට එම වන්දිය ලබා දෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
වරාය පාලන අධිකාරිය සමග මෙම මස 17දා මේ සම්බන්ධව තවත් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය විය.
මෙම සාකච්ඡාව සඳහා කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර මහතා, වරාය වෘත්තීය සමිති නියෝජිතයන්,වරාය පාලන අධිකාරියේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.