මාගම්පුර වරායේ කටයුතු චීන සමාගම් සමග එක්ව මෙහෙයවීම ජනවාරි මස 08 වැනිදා සිට ආරම්භ කරන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.මීට අදාළ අවසන් ගිවිසුම අත්සන් කිරීම ජනවාරි 06 වැනි දින අදාළ සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර සිදුවන බවද ඔහු පවසා සිටියේය.
රටේ අනෙකුත් වරායන් දියුණු කිරීමට නම් හම්බන්තොට මාගම්පුර වරායේ කටයුතු පෞද්ගලික අංශය සමග එක්ව දියත් කළ යුතුව තිබෙන බවත්, මේ නිසා රටට වැඩි වරප්‍රසාද ලබාගත හැකි ආකාරයට මෙම ගිවිසුම අත්සන් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊයේ (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මීට පෙර අත්සන් කළ ගිවිසුම මූලික ලියවිල්ලක් පමණක් බවයි. එය ලේකම්වරුන් තිදෙනෙකු අතර අත්සන් තැබුණු බවත්, එහෙත් අවසන් ගිවිසුම අත්සන් කිරීම අදාළ චීන සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය.
දැනට චීන සමාගමට 80%කුත් වරාය අධිකාරියට 20%කුත් වශයෙන් අයිතිවාසිකම් ලැබෙන ආකාරයට ගිවිසුම් අත්සන් කිරීමට යෝජනා වී ඇති බවත්, එහෙත් වරාය අධිකාරියට 35% ක අයිතියක් ලබාගැනීම තමන්ගේ යෝජනාව වී ඇති බවත් ඔහු කීය. මීට අමතරව දැනට මාගම්පුර වරායේ සේවය කරන සියලුම සේවකයන් සමාගම යටතට පත්කළ යුතු බවට යෝජනා කර ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.