නියමිත කාලසීමාවට පෙර අඩුබරින් යුක්තව ප්‍රසූත කළ පිරිමි දරුවෙකු මළදරු උපතක් බවට තීරණය කර දෙමාපියන්ට දැනුම්දී දින හයකට පසු, එම දරුවාගේ දිවි ගලවාගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමාරෝග දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් සමත් වී තිබේ.
මෙම සිදුවීමට මුහුණදුන් දරුවාගේ මව වන ආණමඩුව පෙරියකුලමේ පදිංචි චාන්දනී ජයතිලක මහත්මිය (29) එම සිදුවීම මෙසේ විස්තර කළාය.
“මම ආණමඩුව දිසාරෝහලේ සිට කුරුණෑගලට ගෙනාවෙ පසුගිය 26 වැනිදායි. 30 වැනිදා පාන්දර තමයි මට බබාව ලැබුණෙ. මට දරුවා ලැබුණෙ සති 26 කදී නිසා උපන් දරුවා මළදරුවෙකු බවත්, නැත්නම් ගබ්සාවීමකින් ලැබුණු නොමේරූ ළදරු කළලයක් බවත් මට වෛද්‍යවරු කිව්වා.
පසුවදා මගේ මහත්තයා ආවාමත් කියලා තිබුණෙ දරුවා බේරාගන්න අමාරු නිසා බලන්න දෙන්න බැහැ කියලයි. මැයි පළමුවැනිදා මාව ටිකට් කපලා ගෙදර යැවුවා. ගෙදර ගිහිං මායි මහත්තයයි මේ අපිට ඉපදුණු දෙවැනි දරුවනේ කියලා හිතාගෙන එයා මියගිය ආකාරයට මතක බණක් කියලා හත්දවසේ දානයකුත් දුන්නා.
දානේ දීලා ඉවරවෙනකොටම තමයි අපිට ටෙලිග්‍රෑම් එකක් ආවෙ බබා ජීවතුන් අතර ඉන්නවා වහාම රෝහලට ඇවිත් දරුවාට කිරි දෙන්න කියලා. ඒ ගමන්ම මම රෝහලට ආවා. ඒ අවාම පුතා රෝහලේ බේබි රූම් එකේ ඉන්නවා දැක්කා. මට ඒ වෙලාවෙ දරාගන්න බැරි සතුටක් ආවා, මිය ගියා කියලා හිතපු අපේ පුතා ජීවතුන් අතර ඉන්නවා නේද කියලා.
බබා හරිම පොඩියි. පොඩි නිසාම දරුවා බේරෙයි කියලා වෛද්‍යවරු විශ්වාස කරලත් නැහැ. මට හරිම සතුටුයි. මේ වගේ වර්ජනයක් මධ්‍යයේ හරි වෛද්‍යවරු මගේ දරුවාගේ ජීවිතය බේරලා දුන්නට මම එතුමන්ලාට පින් දෙනවා" යැයි චාන්දනී හැඟුම්බරව පැවසුවාය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය පාලිත ඩී. යාපා මහතා,
“එම කාන්තාව පසුගිය 30 වැනිදා දරුවකු ප්‍රසූත කර තිබුණා. හැබැයි ඒ වෙනකොට ඇගේ ගැබට ගතවෙලා තිබුණෙ සති 26 යි. සාමාන්‍යයෙන් ජීවත්වන දරුවෙකු හැටියට සැලකෙන්නෙ සති 28කට පසුව ඉපදෙන දරුවෙකුයි. ඊට වඩා අඩු කාලයෙන් ඉපදෙන දරු උපත් වෛද්‍ය විද්‍යාවට අනුව සැලකෙන්නෙ මළදරු උපත් එසෙත් නැතිනම් ගබ්සාවීමක් විදියටයි.
මේ දරු උපතත් එවැනි ගබ්සා තත්ත්වයෙන් තිබුණු කලලයක් නිසා අපි මවට දැනුම් දුන්නා දරු කළලය ජීවත් කරලීම අමාරුයි කියලා. ඒ අනුව මව පසුගිය පළමුවැනිදා රෝහලෙන් බැහැරව තිබුණා. ළමාරෝග විශේෂඥ පී.එන්. විජේවර්ධන මහතා ඇතුළු ළමා දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලයේ නොමසුරු කැපවීම නිසා අපිට ඒ මළදරු කලලය ජීවත් කරවීමට පුළුවන් වී තිබෙනවා. අපේ දැනුම්දීම අනුව පෙරේදා දරුවාගේ මව දැන් දරුවාට එකතු වී සිටිනවා.
අපේ රෝහලේ තමයි ලංකාවේ රෝහල් අතරින් සියලුම හෙද හෙදියන් වැඩවර්ජනය කරලා ඉන්නෙ. ඔවුන් තවමත් සේවයට වාර්තාකර නැහැ. එවැනි අසීරුතාවක මේ වගේ දරුවන්ගේ ජිවිතය බේරාගැනීමට ලැබීම පිළිබඳව අපිට පුදුමාකාර සතුටක් තිබෙනවා.ඒ දරුවාටත් ජීවත්වීමට වාසනාව තිබෙනවා. වැඩ වර්ජනයක් අස්සේ හෙදියන්ගේ සහාය නැතිව කරපු මේ වැඩේ විශ්මකර්ම වැඩක් කියලයි මම නම් හිතන්නෙ" යැයි ප්‍රකාශ කළේය.