පාසල් සහ ක්‍රීඩා සංගම් සඳහා බෙදාදීමට කැරම් සහ දාම්බෝඩ් දාහතරදහසක් ආනයනය කර, රජයට රුපියල් කෝටි 05කට අධික මුදලක් පාඩු කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා තිබූ නඩුව තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉල්ලා අස්කරගත් අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ එම සිද්ධියට අදාළවම අලුතින් නඩුවක් ගොනු කළේය.
මුල් නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කරනු ලැබ සිටි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගබඩා පාලකවරයකුව සිටි පහළ ගෙදර අජිත් නිශාන්ත ගුණසේකර නමැත්තා නව නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙසින් නම් කරමින් අල්ලස් කොමිසම විසින් අලුතින් නඩුව පවරන ලදී.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 05ක පෞද්ගලික ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියම කළේය.
මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පසුගිය සැප්තැම්බර් මස 08 වැනිදා විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරනු ලැබූ අතර, එම නඩුවේ තාක්ෂණීක දෝෂයක් උද්ගතවීම හේතුවෙන් අල්ලස් කොමිසම එම නඩුව ඉල්ලා අස්කරගත්තේය.
අලුතින් පත් කරන ලද නඩුවේ විත්තිකරුවන් වශයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කච්චිකඩුගේ නලින් රුවන්ජීව නමැත්තන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරන ලදී.
සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාට දුරකථනයෙන් කතා කොට තෝරාගත් පාසල් සහ ක්‍රීඩා සංගම්වලට කැරම් සහ දාම්බෝඩ් දහහතරදහසක් ආනයනය කිරීමට උපදෙස් ලබාදීම, ඒ අනුව අවස්ථා හතරකදී ඒවා ආනයනය කොට රුපියල් 53,113,975. 17ක් රජයට පාඩු කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.
වරායට ලැබුණු කැරම් සහ දාම්බෝඩ් සතොස මැකලම් ගබඩාවේ තැන්පත් කොට තිබූ අතර, එම භාණ්ඩ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් නොකොට මාබිම පිහිටි පෞද්ගලික ගබඩාවක තැන්පත් කොට 2015 වර්ෂයේදී දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
මෙම සිද්ධියට අදාළව නඩු පවරා ඇතත්, තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටි අල්ලස් කොමිසමේ නිලධාරීහු අලුතින් ගොනු කළ නඩුව කැඳවීම සඳහා දිනයක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන මාර්තු මස 02 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.