මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා 53% ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බව කැලණිය විශ්වවිද්‍යාලයත්, මෛත්‍රීපාල සිරිසේන මහතා 53%ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බව කොළඹ විශ්වවිද්‍යාලයත් වෙනවෙනම සිදුකළ සමීක්ෂණ දෙකකින් හෙළි වී තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඩී.එස්.ජයවීර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක් මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ සමීක්ෂණය සිදුකර තිබේ.
ඒ අනුව උතුරු පළාත හැර සෙසු දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි 1000 කට ආසන්න නියැදියක සමීක්ෂණ ප්‍රතිඵලවලට අනුව 53%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියෙන් සිටින බව හෙළිවී තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජිනදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් සිදුකළ සමීක්ෂණයට අනුව මහින්ද රාජපක්ෂ මහතා 53% ක ඡන්ද ප්‍රතිශතයක් ජයග්‍රහණය කරන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 44% ක් ලබාගන්නා බවත් හෙළිවී තිබේ. ඒ සඳහා දිවයින පුරා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 5000 කට ආසන්න නියැදියක් සමීක්ෂණයට ලක්කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ සමීක්ෂණය මූලික වශයෙන් සිංහල ඡන්ද දායකයන්ගේ මත පදනම්ව සිදුකර ඇති අතර, දෙමළ හා මුස්ලිම් ඡන්ද දායකයන්ගේ ඡන්ද සමසමව මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර බෙදී යනු ඇතැයි උපකල්පනය කර තිබේ.
මේ තත්ත්වය යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද ලක්ෂ දෙකකින් ජයග්‍රහණය කරනු ඇතැයි එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබේ.