හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ ඒකාබද්ධ වෙමින් නව සන්ධානයක් ආරම්භ කිරීම පිළිබඳව පුළුල් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.
හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාට හිතවත්ව සිටින එම පක්ෂ සහ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්වී වෙනත් කණ්ඩායමක් ලෙස එම මැතිවරණයට තරග කළ යුතු බවයි.
මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කළ සියලුම පළාත් පාලන නියෝජිතයන්ට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව තිබිය යුතු බවත්, ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉඩ ලබා නොදෙන්නේ නම් වෙනම පක්ෂයක් ලෙස එම මැතිවරණයට ඉදිරිපත් වියයුතු බවත් දැනට සිදුකළ සාකච්ඡාවලදී අවධානය යොමු වී තිබේ.
එසේ වුවහොත් එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමතරව වෙනත් ලකුණකින්, පක්ෂයක් ලෙස හිටපු ජනාධිපතිවරයාගේ කණ්ඩායම මැතිවරණයට ඉදිරිපත් වීමට දැනට සැලසුම් කර ඇතැයිද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ වෙනත් දේශපාලන පක්ෂයක් කෙරෙහි අවධානය යොමුවනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.