හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 2015 ජනවාරි අට වැනිදා ගණන් වැරදුණු ආකාරයට තමන්ට ගණන් නොවරදින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මාතලේ පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවැසුවේ හිටපු ජනපතිවරයා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගණන් වරදින බවට මැතිවරණ රැලියකදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
එසේම අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම පිහිටුවා වසර 23ක් ගතවුවද, එයින් හිරේ ගොස් ඇත්තේ සිවු දෙනෙකු පමණක් බවත් ඔහු පැවසීය.
“අවුරුදු 23ටම මේ කොමිෂන් සභාවෙන් (අල්ලස් හෝ දූෂණ චෝදනා) දූෂණ චෝදනා යටතේ හිරේ ගිහින් තියෙන්නේ හතර දෙනයි. කොහොමද වැඩේ. මොකක්ද සිදුවෙලා තියෙන්නේ. අලුත් කඩේට ටෙලිෆෝන් කෝල් දීලා නඩු තීන්දු වෙනස් කළා වගේ අල්ලස් දූෂණ කොමිසමටත් බලපෑම් කරලා ලොකු ලොකු කට්ටිය හිටපු අය. ඒවා ඔක්කොම දුර්වල කෙරුවා.
මම මාධ්‍ය ආයතනය කැඳවලා කිව්වා පසුගිය අවුරුදු 10ක් ගත්ත විදේශ ණය රුපියල් ට්‍රිලියන 10කට වැඩියි, මේකෙන් ට්‍රිලියන් එකක් තමයි පොත්වත්වල තියෙන්නේ අනිත් ඒවාට වෙච්ච දෙයක් නෑ කියලා මම කිව්වා. ට්‍රිලියන් එකක් කියන්නේ රුපියල් කෝටි 1,000ක්. මම කිව්වේ රුපියල්වලින්. මහින්ද රාජපක්ෂ මහතා කියනවා රැස්වීමක මේ ජනාධිපති කියලා තියෙන්නෙ ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන කියලා.
මට එච්චර ඔළුවේ අමාරුවක් නැහැ. මම ඒ මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා ලියනකොට වරද්ද ගන්න එපා ට්‍රිලියනකට එකයි බිංදු 12ක් කියලත් කිව්වා. මහින්ද රාජපක්ෂ මහත්තයට 2015 ජනවාරි 08 දා ගණන් වැරදුණු විදිහට මට වරදින්නේ නෑ” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.