රටේ මව්වරුන්ට කරදරයකින් තොරව ජීවත්වීමට පසුබිමක් උදාවේවායි ප්‍රාර්ථනා කරමින් ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු 08දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහභාගිත්වයෙන් නවගමුව පත්තිනි දේවාලයේ දේව කන්නලව්වක් පවත්වන බවශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාන්තා සංවිධානයේ ප්‍රධාන ලේකම් අශෝකා ලංකාතිලක මහත්මිය ඊයේ(18දා) සඳහන් කළාය.
සුදුවතින් සැරසී එදින උදෑසන 8.00වනවිට එම ස්ථානයට පැමිණෙන්නැයි සියලු කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බවත්,කාන්තාවන් ඉතා ආදරණීය පිරිසක් බැවින් පොල් ගසා ශාපකිරීම්වලට නොයන බවත් ඒ මහත්මිය පැවසුවාය.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් දැක්වූ ඒ මහත්මිය වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති එකම කාන්තා සංවිධානය විසින් මෙම අවස්ථාව සංවිධානය කරන බැවින් පක්ෂයේ බහුතරයක් කාන්තාවන් ඊට සම්බන්ධවන බවට දන්වා ඇති බවයි.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව නියෝජනය කරන කාන්තාවන් සහ පාර්ලිමේන්තුව,පළාත් සභා,පළාත් පාලන ආයතන නියෝජනය කරන අතිශය බහුතරයක් කාන්තාවන් ඉන්නේ තමන්ගේ සංවිධානය සමග බවත් ඒ මහත්මිය සඳහන් කළාය.
දැනට වසර 14ක් තිස්සේ ශ්රීලනිපසමස්ත ලංකා කාන්තා සංවිධානයේ ලේකම් තනතුර දරන තමාගේ වසර 13ක් දැරූ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය අහිමි කිරීමට වත්මන් පක්ෂ නායකත්වය කටයුතු කර ඇති බවද ලංකාතිලක මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.
කවර බාධාකිරීම් පැමිණියද රටේ කන්තාවන් වෙනුවෙන් අවශ්‍ය සෑම අවස්ථාවකදීම පෙනී සිටින බවත්මේ වනවිට මෙරට කාන්තාවන් මුහුණදී ඇති ඛේදජනක තත්ත්වය අනුව කාන්තා දිනයේදී දේව පූජාව පවත්වන බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
මෙම මාධ්‍ය හමුවට කලාකරුවන් නියෝජනය කරමින් ඕෂධි හේවාමද්දුම මහත්මියද,රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ගෙවිලියක්ද,කහටගස්දිගිලිය ප්‍රදේශය නියෝජනය කරමින් රණවිරු බිරිදක්ද,වයඹ පළාත නියෝජනය කරමින් නීතිඥවරියක්ද,ඇඹිලිපිටිය ප්‍රදේශය නියෝජනය කරමින් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරියක්ද,එක්ව සිටබව අශෝකා ලංකාතිලක මහත්මිය කීවාය.