හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අයදුම් පත්‍ර යොමුකර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය.
හෙට (10දා) දිනය දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා බාරගන්නා බැවින් තරග කිරීමට කැමැති සියලු දෙනාට අයදුම්පත්‍ර යොමුකරන්නැයි අදාළ තැන්වලින් උපදෙස් ලැබී තිබෙන බවත්, ඒ අනුව තමාද අයදුම්පත්‍රයක් බාරදුන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබාදිය යුතු බවට සහ රට පුරාම ඔහුගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවිය යුතු බවට වූ පූර්ව කොන්දේසි සඳහන් කරමින් මෙම අයදුම් පත්‍ර ලබාදුන් බව සොයිසා මහතා පවසා සිටියේය.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ විසින් සංවිධානය කරන මහජන රැස්වීම් මාලාවේ ඊළඟ රැස්වීම් සඳහා අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන බවද හෙතෙම කීවේය.
මාතරදී ලබන 12 වැනිදා මහජන රැලිය පවත්වන අවස්ථාව වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණහොත් අනිවාර්යෙන්ම මහින්ද රාජපක්ෂ මහතා එම වේදිකාවට ගොඩවන බව කියා ඇතැයිද රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළේය.
මෙතෙක් සහභාගි වූ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව එදිනට මාතර වේදිකාවට ගොඩවන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.