හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සාක්ෂි විභාග කිරීම සඳහා බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට බලයක් නොමැති බවට හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා මතුකළ මූලික විරෝධතාව එම කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
විරෝධතාව ප්‍රතික්ෂේප කළ එම කොමිසම ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ජනාධිපතිවරණ ප්රචාරක දැන්වීම් ප්‍රචාරය කරවාගෙන ඒ සඳහා අයවිය යුතු රුපියල් කෝටි 12 ½ ක මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් වූ සිද්ධියේ සාක්ෂි විභාග කළේය.
ප්‍රීති පද්මන් සූරසේන (සභාපති), අමේන්ද්‍ර සෙනෙවිරත්න, විකුම් කළුආරච්චි, ගිහාන් කුලතුංග හා හිටපු විගණකාධිපති පී.ඒ. පද්මතිලක යන අයගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල පිටු 145 කින් යුත් වූ එම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
කොමිසම ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කරන බව මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් දැනුම් දුන්නද, මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකිරීම පුළුල් ලෙස බලද්දී එහි වාසිය අත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාටම බවද විනිසුරු මඩුල්ල දැනුම්දුන්නේය.
මූලික විරෝධතාව ඉවත දමා සාක්ෂි විභාග කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ ගාමිණී මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින්, කොමිසමේ තීරණයට එරෙහිව අභියාචනාවක් කිරීමේ අයිතිය තමන් තබාගන්නේ යැයි පැවසීය.
එම අයිතිය තබාගනිමින් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කොමිසමේ පෙනී සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.