බරපතළ දූෂණ වංචා විමර්ශන කොමිසමේ නිලධාරීන් හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ළඟට යවා හෝ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හැකි වීම කොමිසම ලත් විශිෂ්ට ජයග්‍රහණයක් බවත්, ශ්‍රී ලංකාව තුළදී විධායක ජනාධිපතිවරයෙකුගෙන් ප්‍රකාශයක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය බවත් එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) ඔස්සේ ප්‍රචාරය කිරීමට ගිවිසගත් දැන්වීම්වලට වඩා රුපියල් කෝටියකට අධික දැන්වීම් ප්‍රචාරය කිරීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවීමෙන් එම ආයතනයට පාඩු කිරීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමේ සිද්ධිය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය.
කොමිසමේ නිලධාරීන් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශ ලබාගැනීමට පියවර ගත්තේ හැකි ඉක්මනින් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට යැයිද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අනුව ස්වාධීන රූපවාහිනියට සිදුවූ පාඩුවට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට තම විමර්ශන නිලධාරීන්ට හැකියාව ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම සිද්ධියට අදාළව මහජන සාක්කි කැඳවීමට පියවර ගන්නා ලෙස බරපතළ දූෂණ හා වංචා පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමටද තමන් බලාපොරොත්තු වන බව ඒ මහතා පවසා සිටියේය.
මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙම පියවර ගැනීමට අදහස් කළ බවත්, කොමිසමට ලැබෙන පැමිණිල්ලකට අදාළව විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව එම විමර්ශනය සම්බන්ධයෙන් මහජන සාක්කි විමසන ලෙස කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීම සාමාන්‍ය ක්‍රමවේදය බව පෙන්වා දුන් ලැසිල් ද සිල්වා මහතා එම ක්‍රමවේදය අනුගමනය කරමින් මෙම ඉල්ලීම් කිරීමට අදහස් කරන බවද පවසා සිටියේය.
මහජන සාක්කි කැඳවන ලෙස කරනු ලබන ඉල්ලීමෙන් අනතුරුව සාක්කි කැඳවීමට කොමිසමේ සභාපතිවරයා තීරණය කරනු ලැබුවහොත් ඉන්පසු මෙහි සාක්කි විමසන බවද ලැසිල් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.