එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය දක්වන පක්ෂ රැසක සංවිධායකත්වයෙන් පැවැත්වෙන 'මහින්ද සමග නැගිටිමු' ජන රැලිය මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී අද (12දා) සවස 3.00 ට පැවැත්වීමට නියමිතය.
මෙම රැලිය සඳහා පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වන බව බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙම ජන රැලි මාලාවට සහභාගී වූ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජනයට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුන් 150 ක් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් 300කට වඩා සහභාගී වන බවද ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය දක්වන පක්ෂ වන මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, නව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය යන දේශපාලන පක්ෂ එක්ව සංවිධානය කරන මෙම රැලියට තමා සමග බස්නාහිර පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් 40කට වඩා සහභාගී වන බවද රණතුංග මහතා ප්‍රකාශ කළේය.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා සිටියේ අද දිනයේ මාතර දී පැවැත්වෙන රැලියට තම සන්ධානය කිසිදු සබඳතාවක් නොමැති බවය.
'මහ සටන අරඹන්න මාතරට රොක්වන්න යන මැයෙන් 12 වැනිදා මාතර දී සංවිධානය කර ඇති රැස්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මැදිහත්මක් නොමැති බව දන්වා සිටිමු' යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.