“මහින්ද රාජපක්ෂ මහත්තයා නැතිව අපට ගමනක් නෑ. අපි ඒක පිළිගන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂය දිනුවේ නෑ. අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හොඳකමට තමයි ජනතාව ඡන්දේ පාවිච්චි කළේ. දැන් මන්ත්‍රීවරු 40 දෙනෙක් තියාගෙන කැබිනට් එකක් හදාගෙන අගමැති වෙලා ඉන්නවා”යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
පෙරේදා (21දා) හෙට්ටිපොලදී පැවැති කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගරසභා හා ප්‍රාදේශීය සභා නගරාධිපතිවරුන්, සභාපතිවරුන්,උප සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“බොදුබල සේනාව විසින් මුස්ලිම් ජනතාව වෙත විශාල පීඩනයක් එල්ල කරමින් සිටින අවස්ථාවක ඔවුන්ට පිහිටවෙන්න කෙනෙක් හිටියේ නෑ. අලුත්ගම සිද්ධිය වුණාට පස්සෙ මුස්ලිම් ජනතාව දැඩි ලෙස අසරණ වුණා. ඔවුන්ට අවශ්‍ය වුණා තමන්ට පිහිටක් නැති මේ පාලනය පෙරළන්න.
රනිල් වික්‍රමසිංහ මහත්තයට තමන්ගේ පක්ෂයේ නායකයෙක් හිටියෙ නෑ මැතිවරණයට ඉදිරිපත් කරන්න. දයා ගමගේ මහත්තයා කියලා තිබුණා මම ජනාධිපතිවරණෙට ඉල්ලන්නම් කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතලා බලලා අවස්ථාව අනුව හොඳඅපේක්ෂකයෙක් හයර් කරලා ගත්තා. ඒක හොඳ තීරණයක් වුණා.
අපි බලන්න ඕනෑ සිංහල බෞද්ධ ඡන්ද පදනම අපෙන් ගිලිහුණේ ඇයි කියලා. මහ දවල් සමෘද්ධි නියාමකලා ගස් බැන්දා. මහ දවල් සිරස ආයතනයට පහර දුන්නා. ජාතික රූපවාහිනියට ඇතුළු වෙලා රණ්ඩු කෙරුවා. රිෂාඩ් බද්යුදීන් ඇමතිතුමා උසාවියට ගල් ගැහුවා. මේවා ජනතාව දැක්කා. ඔවුන්ට අවශ්‍ය වුණා මේ දේවල්වලට පාඩමක් උගන්වන්න. අවසානේ වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද වුණ එක.
අද ගම්වල ජනතාව හංසයාට කතිරෙ ගහපු එක ගැන කම්පා වෙනවා. ජනතාව හිතුවෙ නෑ හංසයාට කතිරෙ ගැහුවාම රනිල්ගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එනවා කියලා.
විපක්ෂය ආණ්ඩුවට දිගින් දිගටම චෝදනා එල්ල කළා. ප්රජාතන්ත්රවාදය, මාධ්‍ය නිදහස නෑ කියලා නිතරම ජනතාව ඉදිරියේ මාධ්‍ය මගින් පෙන්නුවා. ජනතාවගේ ඔළුවලට කැවුවා මේක දූෂිත ආණ්ඩුවක් කියලා. ලැම්බෝගිනි තියෙනවා කිව්වා, පාරවල්වලින් කොමිස් ගැහුවා කිව්වා. ඔය වගේ ගොඩාක් දේවල් කිව්වා. අපි දැන් බලාගෙන ඉන්නවා ඒ අයට දඬුවම් දෙනකල්. තවම නෑ හැබැයි. ඇයි ඒ? මාධ්‍ය ඉස්සරහා කතා කළාට, ජනතාවට බොරු බේගල් කිව්වාට රටේ එහෙම තත්වයක් නෑ.
ගම ඇතුළෙ සියලුම සංවර්ධන වැඩ නතරවෙලා. අපි හදපුවා ලැජ්ජානැතිව විවෘත කරනවා. කයිය ගහනවා යහපාලනය කියලා. මේක ගව පාලනය කියන්නත් හොඳ නැති තරම් තත්වයකට වැටිලා ඉවරයි.
අපි ඉදිරියේදී අපේ ජනාධිපතිතුමා වගේමපක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, අපේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය එකතුකරගෙන කවදාවත් නැති අලුත් පන්නරයකින් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරලා මහ මැතිවරණයට යනවා” යනුවෙන්ද ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේය.