'දෙදහස් නවයේ යුද ජයග්රහණයෙන් පස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනස්ම පුද්ගලයෙක් බවට පත්වුණා. ඔහු බලයට පත් කරන්න දරදිය ඇදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ ඔහුට අමතක වුණා. ඔහුට මග පෙන්වූ උගතුන්, බුද්ධිමතුන් අමතක වුණා. ඔහුට ආශිර්වාද කරපු ජනතාව අමතක වුණා. ඔහුට ඕන වුණේ රාජ්‍යත්වය ඔළුවට අරගෙන දිගටම බලයේ රැඳී සිටින්න' යැයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය
කුඹුක්ගැටේ නගරයේදී පසුගියදා පැවැති ඒකාබද්ධ පොදු විපක්ෂයේ රැලියකදී සහභාගි ඒ මහතා මෙසේ පැවසීය.
හිරියාල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ආසිරි කුමාර හේරත් මහතා ඇතුළු පිරිසක් විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබුණි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.
'මට සෞඛ්‍ය ඇමතිවරයා විදිහට පසුගිය අවුරුදු පහක කාලයක් තුළ ගොවීන් වෙනුවෙන් කරන්න උත්සාහ කළ කිසිම දේයක් ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නේ නැහැ. අද රටරට ගොවීන් ලක්ෂ දෙකක් වකුගඩු රෝගයට ගොදුරු වෙලා සිටිනවා. කෘෂිරසායන, තෙල් , පොහොර එයට හේතු වෙලා තියෙන බව සොයාගෙන තියෙනවා. ඒ නිසා මම මේ විෂ සහිත කෘෂි රසායන ලංකාවට ගෙන්වීම පාලනය කිරීමේ නීති ගේන්න උත්සාහ කළා. නමුත් ඒ සෑම අවස්ථාවකදීම මහ රජුත් ඔහුගේ සොහොයුරු යුව රජුත් කැබිනට් මණ්ඩලය තුළ එම නීති සම්මත කරන්න ඉඩ දුන්නේ නැහැ. මොකද ඔවුන් ඉන්නේ මේ විෂ කෘෂි රසායන නිසා වකුගඩු රෝගයට ගොදුරු වූ දුප්පත් ගොවි ජනතාව සමග නොවෙයි. ඒ අයට කෝටි ගණන් කොමිස් ලබාදෙන බහුජාතික සමාගම් සමගයි. අපි ජනවාරි අටවැනිදායින් පස්සේ හදන ආණ්ඩුවෙන් මේ විෂ කෘෂි රසායන සීමා කරන නීති සම්මත කරනවා.
මේ රටේ ඉන්නවා ජීවත් වෙන්න තරම් අවම ආදායමක්වත් නොලැබෙන පවුල් ලක්ෂ විසි හතක්. ඒ අය ගැන සොයා බලන්න රාජපක්ෂලාට කිසිම වුවමනාවක් නෑ. රට දියුණු වෙලා තියෙනවා. රට සමෘද්ධිමත් වෙලා තියෙනවා. නමුත් මේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අද ඉන්නේ එදාවේල කන්න නැතුව. අප බලයට පත්වූ වහාම කරන්නේ මේ පවුල්වල ජීවන තත්ත්වය ගොඩනංවන එකයි. ඔවුන් කුසගින්නේ දුක්විඳිද්දී අධිවේගී මාර්ග හදලා වැඩක් නැහැ'.
යාපහුව සුනිල් කහගල්ල