68 වැනි නිදහස් සමරු උත්සවය කොළඹදී පැවැත්වෙන අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් සභා මන්ත්රීවරුන් පිරිසක් සහභාගි වූ විශේෂ හමුවක් මීගමුව රනෝවෙල් හෝටලයේදී අද (04දා)පැවැත්විණි.
ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ ගැන සහ පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්රීවරුන්ගේ අදහස් විමසීම සඳහා මෙම රැස්වීම සංවිධානය කර තිබුණද එහිදී විශේෂ තීරණයක් නොගත් බවත්, ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් බැහැරව වෙනම කණ්ඩායමක් ලෙස යා යුතුබවට සියලු දෙනාගේ අදහස වූ බවත් එම අවස්ථාවට එක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්රී ජගත් කුමාර මහතා පැවසීය.
ඊයේ පෙරවරු11.30ට ආරම්භව සවස 3.00 දක්වා පැවැති මෙම විශේෂ රැස්වීමට උතුරු පළාත් සභාව හැර අනෙක් පළාත් සභා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීවරුන් 200ක් පමණ සිටි බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වමින් විපක්ෂයක් ලෙස කටයුතු කළ යුතුබවත්,තමාගෙන් ජනතාව අලුත් පක්ෂයක් ඉල්ලන බැවින් ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාරගැනීමට සූදානම් බව සඳහන් කළේ යැයි ප්රසන්න රණතුංග මහතා කීය.