හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා හවුල් නොවන්නැයි අත්තනගල්ල ආසන සංවිධායක වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජතයින්ගෙන් අද ඉල්ලා සිටියේය.
අද (14දා) අත්තනගල්ල රන්පොකුණගම පැවති මහජනහමුවකදී එතුමා මේ බව පැවසීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන කණ්ඩායම් අත්තනගල්ල ප්‍රදේශයට පැමිණ පක්ෂයට පිටින් ගිහින් කරන විනශය අපි දැක්කා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවුලක කෙනෙක්. නමුත් 2009 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකලාපය බලන් ඉන්න බැරි නිසා මම පක්ෂයෙන් ඉවත්වුණා.
පක්ෂය ඇතුළේ ඉඳන් පක්ෂය විනාශකරන්න බැරි නිසා මම පක්ෂයන් ඉවත්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියා ගැන විවේචනය කළා. නමුත් අද අවාසනාවකට වගේ සමහර ඇමතිවරු කරන්නේ තමන්ගේ ගේ ඇතුළේ ඉඳගෙනම තමන්ගේ ගේ කඩාගැනීම. නමුත් මම කිව්වා මේ රාජපක්ෂලා ඉන්නවා නම් මම කවදාවත් මේ පක්ෂයට බැඳෙන්නේ නැහැ කියලා.
සමහර අය අද ලොකුවට කියනවා, පක්ෂය දාලා ගිහිල්ලා දැන් ඇවිල්ලා පක්ෂයේ තනතුරු අරගෙන, ඇමතිකම් අරගෙන අපි ඉන්නවා කියලා. ඔව් අපි තනතුරු අරගෙන ඉන්නවා තමයි. හැබැයි අද මේ විනාශය කරන ඇමතිවරු, මන්ත්‍රීවරු මොකද කරන්නේ. පක්ෂය ඇතුළේ ඉඳගෙන පක්ෂය විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හදන්න පාර කපලා දෙනවා. මේක අවාසනාවන්ත සිද්ධියක්.”