ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගමගේ නමැත්තා පදික වෙළෙඳුන්ගෙන්, ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් මෙන්ම ජංගම වෙළෙඳුන්ගෙන් මුදල් ලබාගැනීම නිසා රජයට රුපියල් කෝටි 11 ක පමණ මුදලක් පාඩුවී ඇතැයි කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ
ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී, සිද්ධියට අදාළව කළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් වංචා විමර්ශන අංශය මේ බව අධිකරණයට දැනුම්දුන්නේය.
බන්ධනාගාර නිලධාරීහු පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, මෙම සිද්ධියට අදාළව සැකපිට රිමාන්ඩ් බාරයට පත්කොට සිටින මහින්ද කහඳගමගේ මහතා අධිකරණයට ඉදිරිපත් කළහ.
සිද්ධියට අදාළව කළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ වංචා විමර්ශන අංශය, මෙම සිද්ධියට අදාළව කොළඹ නගර සභාවේ නාගරික භාණ්ඩාගාරික කේ.ඩී. චිත්රපාල මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත්, සැකකරුගේ ක්‍රියාකලාපය හේතුවෙන් නගර සභාවට රුපියල් 107,819,902 ක බදු මුදල් අහිමිවී ගොස් ඇති බව එහිදී හෙළිවූ බවත් දැනුම්දුන්නේය.
කඩ හිමියන් 823 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බවත්, ඔවුන් නගර සභාව සමග ඇතිකරගත් ගිවිසුම අනුව එක් කඩ කාමරයක් සඳහා මාසික කුලිය ලෙස රු. 50,000 ක්ද, බදු මුදල ලෙස රු. 5,000 ක්ද ගෙවිය යුතු වූවත් සැකකරුගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම මුදල් ගෙවා ‘නොමැති බව හෙළිවූයේ යැයි දැනුම්දුන් වංචා විමර්ශන අංශයේ නිලධාරීහු, සිද්ධියට අදාළව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයිද කීහ.
පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නසාර් හුසේන් මහතා කරුණු දක්වමින්, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මුල් කරගනිමින් ආරම්භ වූ ප්රශ්නයේදී නීතිඥවරුන්ට පහරදී තිබුණේද මෙම සැකකරුවන්ගේ ගෝලයන් බවත්, සැකකරු අනවසරයෙන් කඩ සාදා ඒවාට අනවසර අන්දමින් ලයිට් හා වතුර ලබාගෙන රුපියල් 2,000 බැගින් කුලියට ලබාදී අයථා ලෙස මුදල් උපයාගෙන ඇති බවත් පවසා සිටියේය.
මහින්ද කහඳගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරමින්, තම සේවාදායකයා සභාපති ධුරය දරන පදික වෙළෙඳුන්ගේ සංගමයේ බලය අල්ලා ගැනීම සඳහා පිරිසක් ඔහුට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරන්නේ යැයි පැවසූහ.
ඉදිරිපත් වූ කරුණුද සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 20 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයට පත්කළේය.