මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදාගේ බිරිඳගේ රුපියල් කෝටි ගණනක රන් ආභරණ තැන්පත් කොට ඇති නුගේගොඩ මහජන බැංකුවේ ආරක්ෂිත සේප්පුවේ යතුර කොළඹ මහාධිකරණයේදී අස්ථානගතවී ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා හමුවේ ඊයේ (23දා)හෙළි විය.
අදාළ ආරක්ෂිත සේප්පුවේ යතුර කොළඹ මහාධිකරණයේ භාණ්ඩ ගබඩා කාමරයේදී අස්ථානගතවී ඇත්තේ කෙසේද යන්න පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා රහස් පොලීසියේ අධ්යක්ෂවරයාට නියම කළේය.
හෙරොයින් ජාවාරමෙන් රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයාගත් බවට චෝදනා කරමින් ශ්රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදාට, ඔහුගේ බිරිඳට හා සහෝදරියට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී වෙලේ සුදාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල මුතුමුදලි මහතා විසින් තම සේවාදායිකාවගේ රන් ආභරණ රඳවා අධිකරණ භාරයට පත් කොට ඇති නුගේගොඩ මහජන බැංකුවේ ආරක්ෂිත සේප්පුවේ යතුර කොළඹ මහාධිකරණයේදී අස්ථානගතවී ඇති බව විනිසුරුවරයාට දැනුම් දුන් අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස නියම කළේය.