මහා පරිමාණ කසළ කඳු සියල්ලම අවදානම් තත්ත්වයක
කැළි කසළ ගොඩගැසීමේදී කිසිදු තාක්ෂණයක් භාවිත නොකරන නිසා, දැනට මහා පරිමාණ කසළ කඳු සියල්ලම අවදානම් තත්ත්වයක පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය.
කැළි කසළ ගොඩගැසීමේදී තාක්ෂණය භාවිත කළයුතු බවත්, එහෙත් මෙරට කැළි කසළ ගොඩගැසීමේදී තාක්ෂණය භාවිත නොකිරීම නිසා කැළි කසළ ගොඩගසන ස්ථානවල පොළොව ඇඹරීමට, ඉරිතැලීම්වලට සහ කැඩීම්වලට ලක්වන බවත් ඔහු පවසා සිටියේය.
මේ අනුව මීතොටමුල්ල කුණුකන්ද නායයාමකට ලක්වූ බවත්, දැනට සිදුකළ සොයාබැලීම්වලට අනුව නුවර නගරයේ කැළි කසළ බැහැර කරන ගුහාගොඩ මාර්ගයේ පිහිටි ස්ථානයද අනාගතයේ දිනක මහවැලි ගඟට නාය යා හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
ඒ හරහාද විශාල විනාශයක් සිදුවිය හැකි බවද මහාචාර්ය අතුල සේනාරත්න මහතා 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.
තාක්ෂණය භාවිත කර කැළි කසළ තැන්පත් කරන ආකාරය පිළිබඳ වාර්තා රජයට මේ වනවිට ලබා දී තිබෙන බවත්, එම වාර්තාවලට අනුව කටයුතු කිරීම පක්ෂ විපක්ෂ සියලුම දෙනාගේ වගකීම බවත් මහාචාර්යවරයා පවසා සිටියේය.
මේ අතර, ලංකාවේ පිහිටි පළාත් පාලන ආයතනවලින් බැහැර කරන ස්ථාන නිරීක්ෂණය කළ බවත්, මේ අනුව මෙම සියලුම ස්ථානවලින් අනාගතයේ දිනයක ජනතාවට, පරිසරයට සහ වන සතුන්ට හානි සිදුවිය හැකි බවට තහවුරු වී තිබෙන බවත් පේරාදෙණිය කෘෂි පීඨයේ ඉංජිනේරු අංශයේ ආචාර්ය අනුරාධ කරුණාරත්න මහතා සඳහන් කළේය.
මෙම අනතුරුදායක තත්තවයෙන් වැළකී සිටීමට නම් මුලින්ම ඒ සඳහා ජනතාව සහයෝගය දැක්විය යුතු බවත්, ඒ අනුව ජනතාව කසළ බැහැර කිරීම ක්‍රමානුකූලව අඩුකළ යුතු බවත් ඔහු පවසා සිටියේය.
දියුණු රටවල ජනතාව කසළ බැහැර කිරීම සීමා කරමින් සිටින බවත්, එහෙත් අප රටේ ජනතාව එවැනි තැනක නොමැති බවත් ආචාර්ය අනුරාධ කරුණාරත්න මහතා සඳහන් කළේය.
ප්‍රතිචක්‍රිකරණය කළ හැකි සහ කැළි කසළවලින් කොම්පෝස්ට් පොහොර වැනි දෑ සකසාගත හැකිව තිබියදීත් ජනතාව එම කටයුතු නොකර කැළි කසළ බැහැර කරමින් සිටින බවද ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා ප්‍රධාන නගරවල සතියේ සෑම දිනකම කැළි කසළ එකතු කිරීමට සිදුව තිබෙන බවත්, එහෙත් සියලුම දෙනාගේ සිහින නගරය වන ටෝකියෝ නගරයේ කැළි කසළ එකතු කිරීම සතියකට දින දෙක තුනකට සීමා වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
අවධිමත් කැළි කසළ බැහැර කිරීම නිසා ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන්නේ ජනතාවට පමණක් නොව, වන සතුන් හා නිවෙස්වල ඇති කරන බල්ලන්, පූසන් වැනි සතුන්ගේ ජිවීතවලටත් එම අවදානම බලපාන බවද හෙතෙම සඳහන් කළේය.
දැනට සිදුකළ සමීක්ෂණයකට අනුව ලංකාවේ ස්ථාන 20කට වැඩි ප්‍රමාණයක පිහිටි කසළ කඳුවලින් අලි ඇතුන් අපද්‍රව්‍ය ආහාරයට ගන්නා බවත්, ඔවුන්ගේ ජීවිත පවා අනතුරට ලක්වන බවත් කරුණාරත්න මහතා පවසා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

