ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියට වැඩ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය එකඟතාව පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් මගින් දන්වා සිටියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්දේසි පවතින බවත් එම සියලු කොන්දේසි එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු පක්ෂ සමග සාකච්ඡා කිරීම පක්ෂ නායකත්වයට බාරදී ඇති බවත් එම නිවේදනයේ සඳහන්වේ.
'ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මඟ' මැයෙන් කටුනායක ෆුල්මූන් හෝටලයේදී පසුගිය 21, 22 යන දෙදින පුරා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩමුළුවේදී මෙම තීරණවලට එළැඹි බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, විධායක ජනපති ක්‍රමය අහෝසිකර අගමැතිවරයාට බලය පැවරීම, මහමැතිවරණයට පෙර දැනට පවතින මැතිවරණ ක්‍රමය අහෝසි කිරීම, ජාතික ආණ්ඩුවක් බිහිකිරීම යන කරුණු කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබුණද, ඒ සම්බන්ධව අවසන් නිගමනයකට එළඹී නොමැති බව ද වාර්තා වේ.
දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 127 දෙනාටම මේ සඳහා ආරාධනා කර තිබුණු අතර ඒ සඳහා සහභාගි වූයේ 70 කට ආසන්න පිරිසක් බව එම වැඩමුළුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක මහතා 'අද' ට පැවසීය.
සෑම මාසයකට වරක් මෙවැනි වැඩමුළු පැවැත්වීමට එහිදී තීරණය කළ බවද ඒකනායක මහතා සඳහන් කළේය.
වැඩමුළුව පැවැති දින දෙකෙහිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට සහභාගි වී තිබෙන අතර, ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීමේදී යෝජනා කර ඇත්තේ, මහ මැතිවරණය ටික කලකට කල්දැමීම වඩා සුදුසු බවයි.
මෙහිදී මන්ත්‍රී කණ්ඩායමේ එක් පිරිසක් පවසා ඇත්තේ එසේ කල්දැමීම සුදුසු බවයි. එහෙත් තවත් පිරිසක් එම යෝජනාවට විරෝධය පළකර තිබේ.
ටී.බී. ඒකනායක මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම වැඩමුළුවේදී අවසන් නිගමනයකට එළැඹීමට නොහැකි වූ බවයි.
ජාතික ආණ්ඩු සංකල්පය මේ මොහොතේ අදාළ නොවන්නක් බවට අදහස් ඉදිරිපත් වූ බවත්, එසේ ජාතික ආණ්ඩුවක් බිහි කළහොත් විපක්ෂය බවට පත්වන්නේ කුමන දේශපාලන පක්ෂයද යන්න පිළිබඳව මන්ත්‍රීවරුන් විමසා සිටි බවත් හෙතෙම කීය.
මෙම වැඩමුළුව සංවිධානය කළ ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරී, එක්සත් ජාතික පක්ෂයේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ, වැඩමුළුව අතිශය සාර්ථක වූ බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලය තහවුරු කිරීම වෙනුවෙන් වැඩකරන බවට ඔවුන් සියලුදෙනා එකඟ වූ බවද හෙතෙම පැවසීය.
මේ අතර ශිරාල් ලක්තිලක මහතා මෙම වැඩමුළුව අමතන අවස්ථාවේදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඇතුළු 8 දෙනෙකු ඉන් ඉවත්ව ගිය බවද වාර්තා වේ.