මහනුවර ශික්ෂණ රෝහල කේන්ද්‍රකර ගනිමින් ශරීර අවයව බද්ධ කිරීමේ නව ඒකකයක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන බවත්, මේ සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල ලබාදී අදාළ ඒකකය කඩිනමින් විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට සොඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමන්ට දැනුම් දුන් බවත් මහනුවර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.
මහනුවර ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ සිදුකළ දෙවැනි හදවත් බද්ධ කිරීමේ සැත්කමද සාර්ථක වීමෙන් පසු දිවයිනේ නන්දෙසින් හදවත්, අක්මා, පෙනහලු හා අග්න්‍යාශ බද්ධ කිරීම් සඳහා ඉල්ලීම් ලැබෙන බවත්, මේ වනවිට මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයක් ක්‍රියාත්මක අතර, එහි වකුගඩු බද්ධ කිරීම් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිදුකර තිබෙන බවත් රෝහල් අධ්යක්ෂවරයා පවසා සිටියේය.
මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රථම අග්න්‍යාශ බද්ධ කිරීමද පසුගිය 20 වැනිදා සිදුකර ඇති අතර, නව ඒකකය ස්ථාපිත කිරීමෙන් පසු හදවත්, අක්මා, පෙනහලු හා අග්න්‍යාශ බද්ධ කිරීම් එහි සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත් සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් හදවත් බද්ධ කිරීමේ සැත්කමෙන් පසු රෝගීයා රැකබලා ගැනීමේදී අවශ්‍ය වන යන්ත්‍ර කිහිපයක් රෝහලට ලැබී තිබෙන අතර, ඉතිරි අඩුපාඩුද කඩිනමින් සපුරා දීමට අමාත්‍යවරයා පොරොන්දු වී තිබේ.