මහනුවර මහ රෝහලේ දී සිදු කළ දෙවන හදවත් සැත්කම ද සාර්ථකව සිදු කිරීමට එහි විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්ව තිබේ. එහි හෘද ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සචිනි සෙව්වන්දි (19) නැමැති තරුණියට මෙම සැත්කම සිදු කොට ඇත.
පූලියද්ද ප්‍රදේශයේ පදිංචි නලින්ද බණ්ඩාර සකලසූරිය (28) තරුණයෙකුගේ හදවත සෙව්වන්දිට බද්ධ කිරීමට ලබා දීමට ඔහුගේ ඥාතීන් කැමැත්ත පළ කර තිබුණි. එම තරුණයා යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිට ඇත.
අලුත්ගම ප්‍රදේශයේ පදිංචි සචිනි සෙව්වන්දිගේ හෘද ක්‍රියාකාරීත්වය 10 % ක පමණ මට්ටමක් දක්වා අඩුවී තිබූ අතර හදවතක් බද්ධ කිරීමෙන් පමණක් ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකි තත්ත්වයක් මතුව තිබුණි.
ඇයට හදවත් බද්ධ කිරීමක් සිදු කිරීමට පසුගිය (19දා) සියලු කටයුතු සැලසුම් කර තිබියදී හදිසියේ සැත්කම අත්හිටුවීම හේතුවෙන් මහත් ආන්දෝලනයක් ඇති විය. ඉන් පසුව සෞඛ්‍ය ඇමැතිරයා සමඟ කළ සාකච්ඡාවකින් පසු වෛද්‍ය කණ්ඩායම හදවත් බද්ධ කිරීමේ සැත්කම් යළි ආරම්භ කිරීමට එකඟ වී ඇත.
සචිනිගේ වැඩිමහල් සහෝදරිය ද හදවත් රෝගයක් නිසා මෙයට වසර පහකට පෙර මියගොස් ඇති බවට වාර්තා වේ.
තම දියණිය හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා ඊයේ (26දා) රාත්‍රී 11.00 ට පමණ රැගෙන ගිය බවත් සැත්කම සිදු කිරීමෙන් අනතුරුව ඇය අද (27දා) අලුයම 5.00 ට පමණ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත් සෙව්වන්දිගේ පියා වන මහේෂ් කුමාර මහතා පැවසීය.
මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වන අනිල් අබේවික්‍රම, මුදිත ලංසක්කාර, ජගති පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු විසි දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙම සැත්කමට සම්බන්ධවී ඇත. මහනුවර මහ රෝහලේ සිදු කළ ප්‍රථම හදවත් බද්ධය පසුගිය ජූලි මස (07දා) සිදු කෙරුණි.