මහනුවර දුම්රිය ස්ථානයේ ක්රමවත් ජලය බැසයාමක් නොමැතිකමින් වර්ෂා කාලයට එහි ජලය එක්රැස් වන බව මගීහු පවසති. මේ හේතුවෙන් දුම්රිය ස්ථානයේ වේදිකාවල අතර දුම්රිය මාර්ගයේ ජලය එක්රැස් වන බවත්, මදුර කීටයන් පවා බෝවන බවත් ඔවුහු සඳහන් කරති.
මදුරු කීටයන් බෝවිම හේතුවෙන් මීට ඉහතදී එම ස්ථානවලට ගප්පි වැනි කුඩා මසුන් මුදාහැර ඇති බවත්, ජලය එක්රැස් වී පැවතීම කෙසේද යත් මේ වනවිට එම මසුන්ද බොහෝ ලෙස බෝවී ඇති බවත් මගීහු පවසති.මෙලෙස ජලය එක්රැස් වී පැවතීම දුම්රිය මාර්ගයේ ලී සිල්පර කොටන් දිරායාමටද හේතුවන බව ඔවුහු පෙන්වා දෙති.
|
මදුරු කීටයන් බෝවිම හේතුවෙන් මීට ඉහතදී එම ස්ථානවලට ගප්පි වැනි කුඩා මසුන් මුදාහැර ඇති බවත්, ජලය එක්රැස් වී පැවතීම කෙසේද යත් මේ වනවිට එම මසුන්ද බොහෝ ලෙස බෝවී ඇති බව මගීහු පවසති
|
මේ පිළිබඳව කළ විමසීමකදී මහනුවර දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ආර්.එම්.ජී. රත්නායක මහතා පැවසුවේ, දුම්රිය අංගණයේ එකතු වන ජලය බැස යාමට කාණු පද්ධතියක් පැවතියද මහනුවර නගරයේ නව ඉදිකිරීම් නිසා එම කාණු පද්ධති අවහිර වී ඇති බවයි. කෙසේ වෙතත් නානුඔය දුම්රිය ගොඩනැගිලි අංශය මගින් මෙම ජලය වෙනත් පෙදෙසකට බැසයාම සඳහා කාණු පද්ධතියක් සැකසීමට කටයුතු යොදා ඇති බව ඔහු කීය.
නානුඔය දුම්රිය මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුවේ දිස්ත්රික් ඉංජිනේරු ලසන්ත කුමාර මහතා පැවසුවේ, මෙම ජලය විලියම් ගොපල්ලව මාර්ගය පෙදෙසට බැස යාම සඳහා යෝජනා ක්රමයක් සකස් කර ඇති බවත්, එහි වැඩකටයුතු මේ වසර තුළ නිමකිරීමට හැකිවන බවත්ය.