හැටන් තරු චතුරශ්‍රයේ පිහිටි මහජන වැසිකිළියේ මළ අපද්‍රව්‍ය රාත්‍රී කාලයේ දික්ඔයට මුදා හැරිම හේතුවෙන් දැඩි පාරිසරික විනාශයක් හා ජලදූෂණයක් සිදුවෙමින් පවතින බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කර සිටිති.
හැටන් - දික්ඔය නගර සභා බලප්‍රදේශයට අයත් හැටන්, නගර සභාවේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන, හැටන් තරු චතුරශ්‍රයේ පිහිටි මහජන වැසිකිළියේ මළ අපද්‍රව්‍ය රාත්‍රී කාලයේදී හැටන් නගරය ඔස්සේ ගලා බසින ප්‍රධාන කාණු පද්ධතියට මුදා හැරීම කලක සිට සිදුකෙරෙන බවත්, මෙම කටයුත්ත ඉතා සූක්ෂම අයුරින් සංවිධානාත්මකව සිදුකරන අතර, මාසයකට පමණ වරක් මධ්‍යම රාත්‍රියට ආසන්න වේලාවන්හිදී කම්කරුවන් කිහිපදෙනෙක් යොදා ගනිමින් බාල්දි උපයෝගී කරගනිමින් මෙය කාණු පද්ධතියට මුදා හරින බවත් ඔවුහු පවසති.
එවන් අවස්ථාවලදී ඔවුන්ට නිවෙස්වල රැඳී සිටීමට පවා නොහැකි තරමේ දුර්ගන්ධයක් පවතින බවත්, ඒ පිළිබඳව දිගින් දිගටම නගර සභාවට දැනුම් දුන්නද ඵලක් නොවූ බවත් එම ජනතාව චෝදනා කරති.
ප්‍රදේශය පුරා දුර්ගන්ධයක් විහිදුවමින් කාණුවට මුදා හරින අපද්‍රව්‍ය දික්ඔය ඔයේ ජලයට මුසුවන බවත්, එම අපද්‍රව්‍ය දික්ඔය දිගේ කාසල්රී ජලාශය වෙත ගලා බැසීම සිදුවන අතර, ඒ අතරමග දික්ඔයේ ජලය දූෂණය වනවා සේම එම ඔයේ ජලය පරිහරණය කරන ජනතාවගේ සෞඛ්‍යට මෙන්ම පාරසරික වශයෙන්ද මෙය විශාල බලපෑමක් එල්ල කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.
මේ පිළිබඳව විමසිලිමත්ව සිටි හෙයින් පසුගිය (28දා) රාත්‍රියේද පුද්ගලයන් තිදෙනෙකු විසින් මහජන වැසිකිළියේ මළ අපද්‍රව්‍ය කාණු පද්ධතියට මුදා හරින අයුරු දුටු බවත්, මෙම කටයුත්තේ නිරතව සිටි පුද්ගලයන් තිදෙනා අල්ලා ගත් අවස්ථාවේ ඔවුන් පැවසූයේ රුපියල් එක්දහස් පන්සීයයක වැටුපකට මෙම කටයුත්ත සිදුකරන්නේ යැයි යනුවෙනුත් ඔවුහු ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව එම වැසිකිළිය භාරව කටයුතු කරන කාන්තාව පවසන්නේ මෙම වැසිකිළි පද්ධතියේ අසූචි එක් රැස්වන වළ පිරී ඇති බව හැටන් - දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට ලිඛිතව දැනුම් දුන් බවත්, ඔහුගේ අනුමැතිය පරිදි මළඅපද්‍රව්‍ය ප්‍රධාන කාණු පද්ධතියට මදා හැරීම සිදුකළ බවත්ය.
එමෙන්ම මෙම වැසිකිළිය හා කැසිකිළිය සඳහා පිවිසෙන ඕනෑම අයෙකුගෙන් රුපියල් 20/- ක මුදලක් අය කිරීමද සිදු කෙරේ.
අදාළ දින මෙම කටයුත්ත සිදුකෙරෙන රාත්‍රියේම එම ස්ථානයට හැටන් පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක මොහොමඩ් ජෙමිල් මහතාගේ මෙහෙයවීම මත පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණියද එම කම්කරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ, එය ඡායාරූප ගතකරන කරන අතර වාරයේදී ඔවුන් පැනගිය බැවිනි. එම ස්ථානයේ තිබී පාවහන් යුගළක් ,උණුසුම් කබායක් හා විදුලි පන්දමක්,භූමිතෙල් අඩංගු කෑන් එකක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.
මේ පිළිබඳව හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් එස්.ප්‍රියදර්ශනී මහත්මියගෙන් අප කළ විමසිමකදී ඇය කියා සිටියේ, එවන් කටයුත්තක් සිදුකෙරෙන බවට තමා නොදන්නා බවත්, ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් අනුමැතියක් කිසිසේත්ම නොලැබෙන බවත්ය.
එමෙන්ම එම වැසිකිළි පද්ධතිය ටෙන්ඩර් කර නඩත්තුව හා පවත්වාගෙන යාම වෙනත් පුද්ගලයෙකුට පවරා ඇති බවත්, එක් අයෙකුගෙන් අය කිරීම රුපියල් 10/-ක් ලෙස අනුමත කර ඇති අතර, හැටන් නගර සභාවේ ගළි යන්ත්‍රයෙන් මළ අපද්‍රව්‍ය ඉවත් කිරීම නවතා ඇති බවත්, ඊට හේතුව බැහැර කිරීමට ස්ථානයක් නොමැති වීම බවත් ලේකම්වරිය ප්‍රකාශ කළේය.
එමෙන්ම ලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියේ, හැටන් නගරයේ වැසිකිළියක අපද්‍රව්‍ය ඉවත් කිරීමට අවශ්‍ය නම් තලවාකැලේ- ලිඳුල නගර සභාවට මුදල් ගෙවා සේවය ලබා ගන්නා ලෙස දැනුම් දී ඇති බවත්ය.