පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල් පියවීම සඳහා යළි මහ බැංකුවෙන්ම ණය ලබාගෙන තිබෙන බවත්, එයට අමතරව අර්ථසාධක අරමුදලෙන්, ඩී.එෆ්.සී.සී. සහ පෑන් ඒෂියා බැංකුවලින් රුපියල් බිලියන 21ක ණය ලබාගෙන ඇති බවත් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අතිරේක අධ්යක්ෂ වසන්ත කුමාර අල්විස් මහතා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදු කෙරේ.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කොට ඇත.
ප්‍රශ්න හා පිළිතුරු
මේ අවස්ථාවේදී 68 සී දරණ ලේඛනය පිළිබඳ සාක්ෂිකරුගේ අවධානය යොමු කරයි.
ප්‍ර. - එහි එක් දින වෙළෙඳ ණය රුපියල් බිලියන 11ක වෙළෙඳ ණයක් සඳහන් වෙනවා නේද?
පිළි. - ඔව්. මෙය අප්‍රේල් 04 වැනිදා ගනුදෙනු ලේඛනයයි.
ප්‍ර. - ඒ කියන්නෙ ඒ වනවිටත් ගත් එක්දින ණය මුදල් ගෙවලා නැහැ නේද?
පිළි. - ඔව්.
ප්‍ර. - ඊට පසු මෙම ලේඛනයේ සඳහන් වන්නේ මොනවාද?
පිළි. - ඩී.එෆ්.සී.සී. සුරැකුම් විකිණීම සහ ලංකා බැංකුවට සුරැකුම් විකිණීම් තුනක් මෙහි සඳහන් වෙනවා.
ප්‍ර. - මේ ලේඛනය අනුව පෙනී යන්නේ අප්‍රේල් පළමුවැනිදා ලබාගත් වෙළෙඳ ණයෙන් අප්‍රේල් 04 වැනිදා 7.30 වනවිටත් රුපියල් බිලියන 4.1 ක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ගෙවලා නැහැ නේද?
පිළි. - ඔව්.
ප්‍ර. - අප්‍රේල් 04 වැනිදා ගනුදෙනු අවසන් කරන්නේ කීයටද?
පිළි. - පස්වරු 1.30 ට.
ප්‍ර. - ඊට පසු තවත් ප්රතිමිලදී ගැනීමේ ණයක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබාගෙන තියෙනවා නේද?
පිළි. - ඔව්. රුපියල් බිලියන 4.1ක ණයක් ලබාගෙන තියෙනවා.
ප්‍ර. - එම ප්රතිමිලදී ගැනීමේ ණය හඳුන්වන්නේ කෙසේද?
පිළි. - මෙය රීපෝ (REPO) ලෙස හඳුන්වනවා. මෙය ප්‍රාථමික ගැනුම්කරුවන් වෙත මහා බැංකුවෙන් ලබාදෙන කෙටිකාලීන ණයක්.
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා - මෙය අලුත් ප්රතිමිලදී ගැනීමේ ණයක් නේද?
පිළි. - ඔව්.
ප්‍ර. - එම ණය මුදල අප්‍රේල් 05 වැනිදා ගෙව්වාද?
පිළි. - මා දන්නේ නැහැ.
ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා - මෙම ප්රතිමිලදී ගැනීමේ සියලුම ණය ගෙවා අවසන්.
ප්‍ර. - 2016 අප්‍රේල් 04 වැනිදා ගනුදෙනු කාලය අවසන් වනවිට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අප්‍රේල් 01 වැනිදා එක්දින වෙලෙඳ ණයක් ලෙස ලබාගෙන තිබූ රුපියල් බිලියන 4.1ක් හා අප්‍රේල් 04 වැනිදා එක්දින වෙළෙඳණයක් ලෙස ලබාගෙන තිබූ රුපියල් බිලියන 3.3ක මුදල් ගෙවීමට තියෙනවා නේද?
පිළි. - ඔව්.
මේ අවස්ථාවේදී කොමිසම ඇමතූ ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා - ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සිදුකළ ණය ගෙවීම් අතපසු කිරීම ගැන පමණයි. එක ප්‍රාථමික ගැනුම්කරුවෙකු ගැන පමණක් කතා කරන්නේ ඇයි? තව කොපමණ ප්‍රාථමික ගැනුම්කරුවන් ඉන්නවාද? මින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමගැන වැරදි චිත්‍රයක් මවාපෑම සිදු වෙනවා.
ප්‍ර. - ඊට පසු ගනුදෙනු පැහැදිලි කරන්න?
පිළි. - සවස 4.45ට පමණ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් බිලියන 4.1ක එක්දින ණය ගෙවා දමනවා. ඊට පසු තුන්වැනි වරටත් රුපියල් බිලියන 04ක ප්‍රතිමිලදීගැනුම් ණයක් ලබාගන්නවා.
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා - ඒ කියන්නේ 2016 අපේ‍්‍රල් 04 වැනිදා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවෙන් ප්රතිමිලදී ගැනීමේ ණය තුනකුත්, අර්ථසාධක අරමුදලෙන් ප්රතිමිලදී ගැනීමේ ණයකුත් ලබාගෙන තියෙනවා කියන එකද?
පිළි. - ඔව්.
ප්‍ර. - 2016 අප්‍රේල් 04 වැනිදා අර්ථසාධක අරමුදලෙන් කොපමණ ප්රතිමිලදී ගැනීමේ ණයක් ලබාගෙන තියෙනවාද?
පිළි. - රුපියල් බිලියන තුනක
ප්‍ර. - ඊට පසු යමක් සිදුවුණාද?
පිළි. - මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ සහකාර අධිපති ජානකී මාපිටිය මහත්මිය අනුමැතිය පරිදි රුපියල් බිලියන 11ක එක්දින ණය මුදල සඳහා පොළී අනුපාතය අප්‍රේල් පළමුවැනිදා පොළී අනුපාත අනුව ගණනය කරන්න කියා දැනුම් දුන්නා.
ප්‍ර. - ඒ අනුව සිදු වූයේ කුමක්ද?
පිළි. - රුපියල් බිලියන 11ක් එක්දින ණය මුදල නොගෙවීම වෙනුවෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකර තිබූ රුපියල් මිලියන 88ක මුදල ආපසු එම සමාගමට ගෙවීමට කටයුතු කළා.
ප්‍ර. - මේ අසාමාන්‍ය දෙයක් නේද?
පිළි. - ඔව්.