අධිකරණය සේ ස්වාධීන විය යුතු මහ බැංකුව සම්බන්ධ ගැටලුවක් පවතිනවා නම් එහි අධිපතිවරයා පිළිබඳව තීරණයක් ගත යුතු බවත්, වර්තමාන අධිපතිවරයා පත්කරනු ලැබුවේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුරප්පාඩු කාලය සම්පූර්ණ කිරීමට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
රටේ මිනිස්සු දකින ආකාරයට මහ බැංකු අධිපතිවරයා විසින් විශ්වාසය කඩ කිරීමක් සිදුකර තිබෙනවා නම් මිනිසුන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීම ශක්තිමත් ආණ්ඩුවක වගකීමක් බවද ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.
ඊයේ (16දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, පූජ්‍ය පක්ෂයෙන්, දේශපාලන පක්ෂවලින්, සිවිල් සංවිධානවලින් විශ්වාසය කඩවූ ආයතනය කුමක්ද කියා විමසා සිටියහොත් එහිදී ඔවුන් බොහෝදෙනෙකු සඳහන් කරන්නේ මහ බැංකුව යැයි පවසා සිටියේය.
මේ නිසා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය කාරක සභාව විසින් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිර්දේශ ලබාදී තිබෙන බවත්, එම නිර්දේශ රටේ ජනාධිපතිවරයා ලෙස සැලකිල්ලට භාජනය කරනු ඇතැයි විශ්වාස කරන බවද මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ නියෝජිතයෝ සඳහන් කළේය.
මීට අමතරව නිල කාලය අවසන් වීමෙන් පසු මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමේ නෛතික බලයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතුවන බවද එම පිරිස් පෙන්වා දෙනු ලැබිණි.